දසිස් මංචනායක ලකුණු 1000 පසු කරයි | දිනමිණ

දසිස් මංචනායක ලකුණු 1000 පසු කරයි

අවුරුදු 19න් පහළ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ ලකුණු 1000 සීමාව ඉක්මවූ දෙවැනි පිතිකරු බවට පත්වීමට කොළඹ රාජකීය විදුහලේ දසිස් මංචනායක සමත් විය.

මොරටුව වේල්ස් කුමර විදුහල සමඟ පැවති තරගයේ පළමු ඉනිමේදී ලකුණු 91ක් රැස් කරමින් ඔහු ලකුණු 1000 සීමාවට පිවිසියේය. මෙවර තරග වාරයේ තරග 13ක ඉනිම 21කදී ශතක 2ක් සහ අර්ධ ශතක 2ක් සමඟින් මේ වන විට ලකුණු 1034ක් රැස් කළ දසිස්ගේ ඉනිමක සාමාන්‍යය ලකුණු 60.80ක් විය. තවත් තරගයකදී දක්ෂ පිතිහරඹයක් නිරත වෙමින් කුරුණෑගල මලියදේව විදුහලට එරෙහිව හත්වැනි කඩුල්ලට ලකුණු 243ක අගනා සම්බන්ධතාවයක් පැවැත්වීමට ගාල්ල මහින්ද විදුහලේ නායක ධනුජ ඉඳුවර (නොදැවී 169) සහ තරුෂ ඩිල්ෂාන් (117) සමත් වූහ. ධනුජ ඉඳුවර පන්දු 168කදී හතරේ පහර 14ක් සහ හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 169ක් රැස් කළ අතර, තරුෂ ඩිල්ෂාන් පළමු පෙළ ක්‍රිකට් තරගයකදී තම පළමු ශතකය රැස් කිරීමට සමත් වූයේ පන්දු 160කදී හතරේ පහර 13ක් සහ එක් හයේ පහරක් සමඟිනි.

මේ තරගයේදී ගයන වීරසිංහ (කුරුණෑගල මලියදේව) ශතකයක් සමඟින් තුන් ඉරියව් දස්කම් දැක්වීය.

ගයන වීරසිංහ තම තෙවැනි ශතකය වාර්තා කළේ පන්දු 155කදී හතරේ පහර 17ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 149ක් රැස් කරමිනි. ෂෙහාන් හසරංග (ගාල්ල මහින්ද) වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 87කට කඩුලු 6ක් දවාලීය.

 

ඉෂානි යද්දෙහි

නව අදහස දක්වන්න