‘පින්සර සංවිධානය’ කියා බෝඩ් ගහගෙන පින් කරන මුවාවෙන් පව් පුරෝගෙන | දිනමිණ

‘පින්සර සංවිධානය’ කියා බෝඩ් ගහගෙන පින් කරන මුවාවෙන් පව් පුරෝගෙන

'පින්සර සංවිධානය' ලෙස නාමපුවරු ගසාගෙන පින්කම් කරන මුවාවෙන් පව් කරමින් සිටි හොර සම්මාදම් කණ්ඩායමක් ගම්පොල මූලස්ථාන පොලිසියේ භාරයට ගනු ලැබීය.

මෙම හොර සම්මාදම් නඩය මෙහෙයවූ චීවරධාරියකු සමග ගිහියන් දෙදෙනෙකු මෙසේ පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කරනු ලැබීය.බෞද්ධයාගේ මහත් පූජාවට ලක් වූ ශ්‍රීපාදස්ථානය මුල්කර ගනිමින් මොවුන් මුදල් හා භාණ්ඩ එකතු කර ඇත.

මෙවර ශ්‍රීපාද සමය ඇරඹීම මුල්කරගෙනය ශ්‍රී සුමන සමන් දේව පූජාව නමින් කුඩා ලොරි රථයක ගසාගෙන එහි පිටුපස විසිතුරු ලෙස සරසා සමන් දෙවිඳුන්ගේ රූපය ගසා ජනතාව මුලා කරමින් මෙම මුදල් එකතු කිරීම සිදු කර ඇත.මේ පිළිබඳව ගම්පොල ප්‍රදේශයේ මහජනතාවගේ ලද පැමිණිලි මත මෙම ලොරි රථය හා පිරිස ගම්පොල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතාගේ සෘජු අධීක්ෂණය මත ඔහු භාරයට ගෙන මෙසේ ප්‍රශ්න කරනු ලැබීය.

මේ සඳහා අවසර ගෙන ඇති බව මෙම භික්ෂූන් වහන්සේ පැවසීම නිසා ඒ පිළිබඳව ප්‍රාදේශීය ලේකම් තුෂාරි තෙන්නකෝන් හා බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරිවරයා හා ගම්පොල උඩපලාත ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ප්‍රධාන සංඝනායක බෝවල විමලධම්ම නාහිමියන්ගෙන් ද ස්ථානාධිපතිවරයා විමසූ අතර ඒ සඳහා අවසරයක් නොදී ඇති බව හෙළි විය.

මෙහිදී විමලධම්ම නාහිමියන් එම භික්ෂූන් වහන්සේට පවසා සිටියේ භික්ෂූන් වහන්සේ නමක් ලෙස ශාසනය රැක ගෙන දායකයා යහමගට ගැනීමට කටයුතු කිරීමෙන් මිස දෙවියන් විකුණා මුදල් හම්බ කර බෞද්ධයන් නොමඟ නොවිය යුතු බවය.මේ හොර සම්මාදන් වැඩේ නතර කොට වහාම ප්‍රදේශයෙන් පිට විය යුතු බව ද උන්වහන්සේට දන්වන ලැබීය.

සම්මාදමේ යෙදුන භික්ෂූන් වහන්සේ මෙහිදී පවසා සිටියේ මිනිසුන්ගෙන් සල්ලි හෝ කිසිවක් නො ඉල්ලූ බවත් ඔවුන් කැමැත්තෙන් දෙන බවත්ය.

 

ගම්පොළ සමුහ - සුරංග දිල්හාන්

නව අදහස දක්වන්න