ඉස්කොලේ කට් කර ටොෆි ඔට්ටුවට කැරම් ගහපු ළමයි ටික වටලයි | දිනමිණ

ඉස්කොලේ කට් කර ටොෆි ඔට්ටුවට කැරම් ගහපු ළමයි ටික වටලයි

පාසල් යාම පැහැරහරිමින් සිසුවියක් සහ සිසුන් පස් දෙනෙකු ටොෆි වර්ග සඳහා කැරම් ක්‍රීඩාවේ යෙදී සිටි ඉංගිරිය,දොඹගස්කන්ද ප්‍රදේශයේ නිවසක් ඉංගිරිය පොලිසිය විසින් වටළා තිබේ.

පොලිසිය යනවිටත් කැරම් ගැසීමෙහි යෙදීසිටි අවුරුදු 7-12ත් අතර දරුවන් හයද ඇතුළුව ඊට අවශ්‍ය පහසුකම් සපයා අනුබල ලබාදුන් පුද්ගලයෙකුද එහිදී අත්අඩංගුවට පත්ව තිබේ.

අත්අඩංගුවට පත් සැකකරු එහි සිටි එක් දරුවෙකුගේ පියා බවත්, ඔහුගේ බිරිඳ විදෙස්ගතව ඇති බවත්,මව නැති පාළුව නැතිකිරීම සඳහා දරුවාට කැරම් බෝඩ් එකක් ගෙනවිත් දී අසල්වාසී දරුවන්ද සමඟ ඔහු කැරම් ක්‍රීඩාවට යොමුකළ බවත් ප්‍රශ්න කිරීම් වලදී හෙළිව ඇති අතර,මෙම දරුවන් ඊට දැඩිලෙස ඇබ්බැහි වී ඇති බවත්,පාසල් යාමෙන් වැළකී ටොෆි වර්ග ඇපයට තබා ඒවා වෙනුවෙන් ක්‍රීඩාවෙහි නිරතව සිට ඇති බවත් අනාවරණය වී ඇත. ඉංගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත චන්ද්‍රලාල්, ළමා හා කාන්තා කාර්යංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ශිරානි සහ ප්‍රජා පොලිස් ඒකකයේ කොස්තාපල් (96284)ගාමිණී යන අයගේ මැදිහත්වීමෙන් දරුවන්ට අධ්‍යාපනයේ අගය පැහැදිලි කරමින් අවවාද කර,අනුබල දුන් පුද්ගලයාට සහ සිසුන් සියළු දෙනාගේම මාපියන්ට දැඩි අවවාද ලබා දී නැවත දරුවන් පාසල් යැවීමේ පොරොන්දුව පිට ප්‍රථම වතාවට සමාව ලබාදී ඇති අතර,ඔවුන් එකඟ වූ අයුරින් කටයුතු කරන්නේදැයි සොයාබැලීම සඳහා ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කර ඇත.

ඉංගිරිය මධ්‍යම සමූහ ප්‍රියදර්ශනී කහවල

නව අදහස දක්වන්න