චීන සමූහාණ්ඩුවෙන් මෙරට ගොවි සහ ධීවර ජනතාවට දුන් ඉන්ධන ආධාර ගාල්ල දිස්ත්‍රික්කයේ ගොවීන්ට දීම චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති කිව් සින් ඕන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා (28) ඇල්පිටිය සමුපකාර ඉන්ධන පිරවුම්හලේදී සිදු කෙරිණි.
කුඹුරු අක්කර භාගයට වැඩි අක්කර දෙක හමාර දක්වා වගා කරන එක් ගොවි මහතකුට ඉන්ධන ලීටර් 15ක උපරිමයට යටත්ව මේ ඉන්ධන ආධාරය දෙනු ලබයි. ඒ අනුව ඇල්පිටිය සහ පිණිකහන ගොවි ජන සේවා බලප්‍රදේශ දෙකේ ගොවීන් 50කට මෙහිදී ඉන්ධන ආධාර දුන් අතර, මහ කන්නයේ කුඹුරු වගා කර තිබෙන එම ගොවීන් හාරදාහකට ආසන්න පිරිසකට මේ ඉන්ධන ආධාරය දීමට නියමිතය.
එහිදී අදහස් දැක්වූ චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපතිවරයා මෙසේ ද පැවැසීය.
"ශ්‍රී ලංකාව කොරෝනා අර්බුදයෙන් පීඩා විඳි අවස්ථාවේදීත් චීනය කොවිඩ් මර්දන සයිනොෆාම් එන්නත් දෙමින් ආධාර කළා. ඒ වගේම ආර්ථික අර්බුදය හමුවේත් නොයෙක් ආධාර උපකාර දෙමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නඟාසිටුවීමට සහයෝගය දෙනවා. ඉදිරියේදීත් චීන රජය ඉතා මිත්‍රත්වයෙන් ශ්‍රී ලංකාවට සහයෝගය දීමට කටයුතු කරනවා."
කෘෂිකර්ම රාජ්‍ය ඇමැති මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා
"චීන රජයෙන් මෙරට ගොවි ජනතාවට සහ ධීවර ජනතාවට තම කටයුතු සඳහා ඉන්ධන මෙට්‍රික් ටොන් 9000ක් (ලීටර් මිලියන 11) දී තිබෙනවා. එයින් වැඩි කොටසක් එනම් මෙට්‍රික් ටොන් 6800ක් (ලීටර් මිලියන 08ක්) දී තිබෙන්නේ ගොවි ජනතාවට. අක්කර භාගයේ සිට අක්කර දෙක හමාර දක්වා කුඹුරු ඉඩම් හිමියන්ට එම කුඹුරුවල අස්වනු නෙළීමට ඉන්ධන ලීටර 40ක් අවශ්‍යයි. එයින් ලීටර් 15ක් ගොවි ජනතාවට නොමිලේ දෙනවා. මේ දෙන ඉන්ධන එම කටයුතු සඳහා පමණක් භාවිත කරන්න."
මෙහිදී චීන තානාපතිවරයා අතින් ගොවීන්ට ඉන්ධන නොමිලේ ගැනීමට කාඩ්පතක් පිරිනැමූ අතර, පසුව ගොවීන්ට ඉන්ධන දීම ද සිදු කරනු ලැබීය. ඉන්පසු ඇල්ල ප්‍රදේශයේ කුඹුරු යායකට ගිය චීන තානාපතිවරයා එහිදී යන්ත්‍රානුසාරයෙන් අස්වනු නෙළීමටද සහභාගි විය.
ඇල්පිටිය සමූහ
අයි. එම්. වී. චන්ද්‍රසිරි ගුණසේකර
නව අදහස දක්වන්න