පළමු වසරේ සිසුන් පිරිසකට හා විනයාරක්ෂක නිලධාරීන් දෙදෙනකුට විශ්වවිද්‍යාල ආපණ ශාලාව තුළදී තර්ජනය කර අයුතු ලෙස රඳවා තබා ගැනීමක් සම්බන්ධයෙන් කෙරුණු විමර්ශනයකට අදාළව සබරගමුව විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ සිසුන් 10 දෙනකුව සමනලවැව පොලිසියේ නිලධාරීන් විසින් පෙරේදා (05) අත්අඩංගුවට ගත්තේය.
ඒ මෙම සිසුන් 10 දෙනා පොලිස් ස්ථානයට පැමිණ භාරවීමෙන් අනතුරුවය. මෙම සිසුන් ඊයේ (06) බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (07) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කළ සිසුන් අතර කළමනාකරණ පීඨයේ එක් සිසුවෙක්ද තාක්ෂණ පීඨයේ සිසුන් 06 දෙනෙක්ද ව්‍යවහාරික පීඨයේ සිසුන් 03 දෙනෙක්ද සිටිති.
වයස අවුරුදු 24ත් 23ත් අතර පසුවන ඌරාපොළ රුවන්වැල්ල, උඩුගම්පොළ, පැදිපොල, දොඹවෙල, කැබතිගොල්ලෑව, ගම්පොළ, මැදිරිගිරිය, පටිටියවෙල, පැපිලියාවල, දොඩන්දූව පදිංචිකරුවන් වන සිසුන් 10 දෙනෙක් ඒ අය අතර සිටින බව පොලිසිය කියයි.
මෙම සිදුවීම වී ඇත්තේ පසුගිය ජනවාරි 10 වෙනිදාය. මේ ගැන පොලිසියට පැමිණිලි කර ඇත්තේ විනයාරක්ෂකයින් දෙදෙනා විසිනි. ඔවුන් සිසුන් 12 දෙනෙකුට එරෙහිව පැමිණිලි කර තිබේ. ඒ සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන පවත්වා පසුගිය පෙබරවාරි 21 වෙනිදා සැකපිට එක් සිසුවෙක් අත්අඩංගුවට ගෙන ඇත. එම සිසුවාව බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (07) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
පොලිසිය පවසනුයේ අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි සිසුන් 11 දෙනෙකුගෙන් 10 දෙනෙක් ඊයේ භාරවීමෙන් පසු අත්අඩංගුවට ගැනීම නිසා අත්අඩංගුවට ගැනීමට ඉතිරිව ඇත්තේ තවත් එක් සැකකරුවෙක් පමණක් බවය.
සමනල වැව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රවින්ද්‍ර ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන පැවැත්වේ.
ගයාන් කුමාර වීරසිංහ බලන්ගොඩ විශේෂ සම්පත් ප්‍රියනන්දන
නව අදහස දක්වන්න