ගණිත උපකරණ නිපදවන ඌවේ ගණිත සර් | දිනමිණ

ගණිත උපකරණ නිපදවන ඌවේ ගණිත සර්

එදිනෙදා කටයුතු සඳහා ගණිත දැනුම ඉතාමත් අත්‍යවශ්‍ය කරුණකි. එහෙත් ඇතැම් පාසල් ළමුන් මෙම ගණිත විෂයට එතරම් ප්‍රිය මනාපයක් නොදක්වති. එයට හේතුව නම් ගණිත ගැටලු විසඳා ගැනීමේ හැකියාව මද බව බව පෙනේ. එවන් ගණිත ගැටලු ඉතා සරලව විසඳා ගැනීමට හැකිවන ලෙසත් සිසුන් එම විෂයට ප්‍රියමනාප කිරීමේ අරමුණ ඇතිව ගණිත ගැටලු සරලව විසදීමේ ගණිත උපකරණ 10ක් නිර්මාණය කිරීමට වැලිමඩ නාවෙල පදිංචි විශ්‍රාමික සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක ඇස්.ඒ. ආර්. සමරවීර පියවර ගෙන ඇත.

ගණිත ගුරුවරයකු, ගණිත ගුරු උපදේශක හා ගණිත සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරයකු ලෙසින් තමන් ලබාගත් දැනුම මත නිර්මාණය කර ඇති සරල ගණිත උපකරණ 10න් 05කටම මේ වන විටත් ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ කාර්මික සැලසුම් යටතේ ලියා පදිංචි කර ඇතැයි ඇස්.ආර්. සමරවීර මහතා පවසයි.

වැලිමඩ නාවෙල පදිංචී “තිළිණි ගණිත උපකරණ” හිමි විශ්‍රාමික අධ්‍යාපන සහකාර අධ්‍යක්ෂක ඇස්. ආර්. සමරවීර මහතා මෙසේ පැවසීය.

“මම උපන්නේ වැලිමඩ නාවෙල ගම්මානයේ. මම නාවෙල විදුහලෙන් දඹවින්න සරණංකර විදුහලෙන් හා බණ්ඩාරවෙල මහා විදුහලෙන්ද ඉගෙනුම ලැබුවා. 1979 වසරේදි විද්‍යා ගුරුවරයකු ලෙස අම්පාර දෙමටමල් පැලැස්ස විදුහලට පත්වීමක් ලැබුණා. එම පාසැලේ ප්‍රථම විද්‍යා විෂයභාර ගුරුවරයා වුණේ මමයි. එම වසරේ අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයට ප්‍රථම වරට විද්‍යා විෂයට පෙනිසිටි සිසුන් 09 දෙනාගෙන් 04 දෙනකුම සමත් විය.

ඉන්පසු මම ඉගෙන ගත් දඹවින්න සරණංකර විදුහලේ විද්‍යා ගුරුවරයා ලෙසින් පැමිණියා. 2000 වසරේදී වැලිමඩ අධ්‍යාපන කලාපයේ විද්‍යා ගුරු උපදේශක ලෙස පත්වුණා. 2002 වසරේදි වැලිමඩ අධ්‍යාපන කලාපයේ විද්‍යා හා ගණිත සහකාර අධ්‍යක්ෂක ධුරයට පත්වුණා. මෙම කාලයේ හඳුන්වාදුන් නව තොරතුරු තාක්ෂණ විෂයද මා යටතට පත්කළා.

එකී තනතුරුවලට අනුව පාසල් දරුවන්ගේ විෂයන්ට අනුගත තාක්ෂණික දැනුම පුළුල් කිරීමට පාසල් තුළ විවිධ වැඩසටහන් දියත් කළා. මේ නිසාම වැලිමඩ අධ්‍යාපන කලාපයේ පාසල් සිසු සිසුවියන් අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී විද්‍යා, ගණිත හා තාක්ෂණ විෂයන්ගේ සමත්විම පෙරට වඩා ඉහළ මට්ටමකට පත්වුණා.

පාසල් ළමුන්ගේ නව නිපැයුම් දැනුම වැඩිකිරීමට නව නිපැයුම් ප්‍රදර්ශන පාසල් මට්ටමින් පැවැත්වුවා. එම ප්‍රදර්ශනවලට ඉදිරිපත් කර ඇති ඉහළ නව නිපැයුම් නිර්මාණ ජාතික මට්ටමේ තරගවලට ඉදිරිපත් කළා. එම තරගවලින්ද ප්‍රථම ස්ථානය වැලිමඩ කලාපයේ පාසල් සිසුන්ට ලබා ගැනීමට හැකි වුණා. පාසැල් 32ක ගණිතාගාර 32ක් ආරම්භ කළා.

මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ විශ්‍රාමික ගණිත අධ්‍යක්ෂක විජයදාස හේවාවිතාරණ මහතා නව ගණිත උපකරණ නිර්මාණය කරන ලෙසට දිවයිනේ විසිරි සිටින ගණිත ගුරුවරුන්ගෙන් හා අධ්‍යාපන නිලධාරින්ගෙන්ද ඉල්ලා සිටියා. ඒ අනුව මම මධ්‍ය ලක්ෂ්‍ය ක්‍රමය සාධනය, සම්භාවිතා උපකරණ කට්ටලය, නිඛිල සංඛ්‍යාත උපකරණය, ත්‍රිකෝණ වර්ගඵල සෙවීම, සමාන්තරාශ්‍ර වර්ගඵල සෙවීම, ප්‍රස්ථාර ආශ්‍රිත ගැටලු විසදීම, භාග පුවරුව, ජ්‍යාමිතික කට්ටලය, 1 සිට13 දක්වා ගුණලෝගුව හා ඇණ පුවරුව යන උපකරණ මම නිර්මාණය කර රේඛීය අධ්‍යාපන අමාත්‍යාංශයට ඉදිරිපත් කළා.එම උපකරණ ඉතාමත් ඉහළ තාක්ෂණයෙන් සමන්විත බවට එම අමාත්‍යාංශයෙන් ලිඛිත සහතිකයක් මට ලබාදුන්නා.

මෙයින් දිරිමත්වුණ මම මගේම වෙළෙඳ නාමය යටතේ ගණිත උපකරණ අධ්‍යාපන අමාත්‍යාංශය හරහා පාසල්වලට ලබාදීමට පියවර ගත්තා. එම ගණිත උපකරණ භාවිතයෙන් එම විෂය පහසුවෙන් ඉගැන්වීමට හැකි බව ගණිත ගුරුවරුන් පවසනවා.

රේඛිය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මීපේ අධ්‍යාපන සංවර්ධන මධ්‍යස්ථානයේදී නව ගණිත උපකරණ පිළිබද තරගයක් පැවැත්වුවා. එසේ ජාතික මට්ටමින් පැවැත්වූ තරගයෙන් හොඳම උපකරණ 10ක් තෝරා ගත් අතර ඒ අතරේ මගේ උපකරණ නිර්මාණත් කර තිබෙනවා.

යම් අයෙකු සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව ඒකාකාරි ජීවිතයකට යොමුවීමත් සමඟ ඇතිවන මානසික පීඩාවත් සමඟ විවිධ රෝගවලට ලක්වෙනවා. මෙයින් මිදිමට නම් තමන් ගත් දෙයින් සමාජයට යම් දෙයක් ලබාදෙන්නේ මානසක සුවයක් සමග නිරෝගී ජීවතයක් උරුමකර ගැනීමට හැකිවන අතර රටේ අර්ථිකයටත් යම් මෙහෙයක් සිදු කිරීමට හැකිවන බව තම අත්දැකීමෙන් පැවසය හැකියැයිද සමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.

 

ඡායාරූප හා සටහන

වැලිමඩ සමුහ - කේ.ආර්. ආර්. රාජමන්ත්‍රී

 

නව අදහස දක්වන්න