කර්මාන්තයක් හරියටම කරන්නේ මෙහෙමයි | දිනමිණ

කර්මාන්තයක් හරියටම කරන්නේ මෙහෙමයි

කුඩා පරිමාණයේ ව්‍යාපාරයක් ආරම්භ කර එය මධ්‍ය පරිමාණය හෝ මහා පරිමාණය දක්වා සංවර්ධනය කර ගැනීම, දිරියෙන් නැඟී සිටින්නට වෙර දරන ව්‍යවසායකත්ව අදහස් ඇති බොහොමයක් මිනිසුන්ගේ අපේක්ෂාවකි. නමුත් ඔබ විසින් ආරම්භ කරන ව්‍යාපාරයන් රජයේ කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචි කළ යුතු බවට ඇති අවබෝධය, සුළු පරිමාණ ව්‍යාපාර ආරම්භ කරන බොහෝ දෙනකු හට නොමැත. මෙය එම කර්මාන්ත ලියාපදිංචි කිරීම පිළිබඳව ලියැවෙන සටහනකි.

කර්මාන්ත ලියාපදිංචි කිරීම සිදු කරන්නේ කර්මාන්ත අමාත්‍යාංශයේ කර්මාන්ත ප්‍රතිපත්ති අංශයට අනුබද්ධිත කර්මාන්ත ලියාපදිංචි ශාඛාවේ කර්මාන්ත ලියාපදිංචි කිරීමේ සේවය මඟිනි. 1990 අංක 46 දරන කර්මාන්ත ප්‍රවර්ධන පනතේ 2 වන වගන්තියට අනුව සෑම නිෂ්පාදන කර්මාන්ත ව්‍යවසායකයෙක්ම තම නිෂ්පාදන වැඩබිම හෝ වැඩබිම් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ. ඔබ විසින් ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයක අරඹන නිෂ්පාදන කර්මාන්ත වැඩබිමක් එය ආරම්භ කර මාස 3ක් ගෙවෙන්නට පෙර කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචි කළ යුතුය.

කර්මාන්ත ලියාපදිංචි කිරීමට අදාළ අයැදුම් පත්‍රය ඔබට කර්මාන්ත අමාත්‍යාංශයේ වෙබ් අඩවියට පිවිසීමෙන් බාගත කර ගැනීමට පහසුකම් සලසා තිබේ. එම අයැදුම්පත නිවැරදිව සම්පූර්ණ කර ඒ සමඟ ඉල්ලා ඇති අනෙකුත් ලේඛනද අමුණා කර්මාන්ත අමාත්‍යාංශයේ කර්මාන්ත ලියාපදිංචි අංශය වෙත හෝ කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ප්‍රාදේශීය කර්මාන්ත සේවා මධ්‍යස්ථානයක් වෙත භාර දීමට ඔබට හැකිය. එසේත් නොමැතිනම් සම්පූර්ණ කරන ලද අයැදුම්පත සහ ඉල්ලා ඇති අනෙකුත් ලේඛන නිසි ලෙස අමුණා ලියාපදිංචි තැපෑලෙන් සහකාර අධ්‍යක්ෂ, කර්මාන්ත අමාත්‍යාංශය, නො. 73/1, ගාලු පාර, කොළඹ 3 යන ලිපිනය වෙත යොමු කළ හැකි ය.

ඇතැම් විට නිෂ්පාදන කටයුතු නියමිත පරිදි සම්පූර්ණ නොකිරීම හෝ ඉල්ලා ඇති ලේඛන නිසියාකාරයෙන් යොමු නොකිරීම හේතුවෙන් ව්‍යවසායකුගේ ලියාපදිංචිය පිළිබඳව ප්‍රශ්නයක් පැන නැඟිය හැකිය. එවන් අවස්ථාවක එම නිෂ්පාදන කටයුතු නියමිත පරිදි සම්පූර්ණ කිරීමෙන් පසුව සහ ඉල්ලා ඇති ලේඛන නිසියාකාරයෙන් ලබා දෙන තුරු තාවකාලික සහතිකයක් නිකුත් කිරීමට අමාත්‍යාංශය කටයුතු කරයි. අදාළ ලේඛන සහ නිෂ්පාදන කටයුතු සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ස්ථිර සහතිකය නිකුත් කිරීම සිදු වෙයි. එම තාවකාලික සහතික අලුත් කරනු ලබන්නේ කර්මාන්ත අමාත්‍යාංශයේ කර්මාන්ත ප්‍රතිපත්ති අංශයේ කර්මාන්ත ලියාපදිංචි ශාඛාවේ තාවකාලික ලියාපදිංචි සහතික අලුත් කිරීම් සේවාව තුළිනි.

කර්මාන්ත ලියාපදිංචි කිරීමෙන් පසුව ලියාපදිංචි සහතික සංශෝධනය කිරීමේදීත් කිසියම් ක්‍රියාපටිපාටියක් පවතී. එය සිදු කරන්නේ කර්මාන්ත අමාත්‍යාංශයේ කර්මාන්ත ප්‍රතිපත්ති අංශයේ කර්මාන්ත ලියාපදිංචි ශාඛාවේ ලියාපදිංචි සහතික සංශෝධනය කිරීමේ සේවාව මඟිනි. යම් කිසි ස්ථිර ලියාපදිංචි සහතිකයක අඩංගු කර්මාන්ත ආයතනය පිළිබඳ තොරතුරු සංශෝධනය කිරීමට අවශ්‍ය විටකදී අයැදුම්කරුගේ ඉල්ලීම අනුව එම තොරතුරු යාවත්කාලීන කිරීමට හැකියාව තිබේ. ඒ සඳහා ව්‍යවසායකයා යාවත්කාලීන විය යුතු තොරතුරු දක්වමින් ලිපියක් සහ ඒවා සනාථ කළ යුතුයි.

කර්මාන්ත අමාත්‍යාංශය විසින් වර්ෂයක් පාසා සිදු කරන වාර්ෂික නිෂ්පාදන වාර්තා යාවත්කාලීන කිරීම පිළිබඳවද ව්‍යවසායකයකු හට අවබෝධයක් තිබිය යුතුමය. ඒ සඳහා ද කර්මාන්ත අමාත්‍යාංශය යටතේ සේවාවක් ස්ථාපිත කර තිබේ. එම සේවාව තුළින් අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි වී ඇති කර්මාන්ත ව්‍යවසායකයන්ගේ වාර්ෂික නිෂ්පාදන වාර්තා එක්රැස් කිරීම, විශ්ලේෂණය කිරීම සහ තොරතුරු යාවත්කාලීන කිරීම ආදී කාර්යයන් සිදු කෙරෙයි.

 

(කර්මාන්ත අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය ඇසුරිනි)

පසිඳු මිහිරාන් රැටියල

නව අදහස දක්වන්න