කර්මාන්තපුරය බලන්න ඇමැති යයි | දිනමිණ

කර්මාන්තපුරය බලන්න ඇමැති යයි

 

දකුණු පළාතේ කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිහිටා ඇති කර්මාන්ත අමාත්‍යංශය යටතේ පවතින කරන්දෙනිය කර්මාන්ත පුරයේ නිරීක්ෂණ චාරිකාවකට කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා එක්විය.

මෙම කර්මාන්ත පුරය තුළ වාණිජ නිෂ්පාදන කටයුතු කරනු ලබන කර්මාන්ත ශාලා 13ක්, ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබන කර්මාන්ත ශාලා 3ක් සහ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත කර්මාන්තශ­ාලාවක් පිහිටා තිබේ. මෙහි සේවා නියුක්තිය දහසකට ආසන්නය. මෙම නිරීක්ෂණ චාරිකාවේදී කර්මාන්ත කරුවන්ට පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර ඒවා කඩිනමින් විසඳීමට අවශ්‍ය පියවර රැසක් ගනු ලැබීය.

කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු නිලධාරින්, කර්මාන්තකරුවන් මෙම අවස්ථාව සඳහා එක්විය.


වේගාට ආර්.එම්.වී. පිළිගැනීම

මෙරට නිෂ්පාදිත වේගා මෝටර් රථය සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය පසුගියදා හිමි විය.

පූර්ණ වශයෙන් මෙරටදී නිෂ්පාදනය කරන ලද මෝටර් රථයක් ලියාපදිංචි කරන ලද ප්‍රථම අවස්ථාව මෙය වන අතර මීට පෙර මේඩින් ශ්‍රී ලංකා ලේබලය යටතේ ලියාපදිංචි වූ මෝටර් රථ මෙරටදී එකලස් කරන ලද ඒවා විය.

ලියාපදිංචි කරන ලද පළමු වේගා මෝටර් රථය සඳහා ලියාපදිංචි අංක තහඩුව නිකුත් කිරීම ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතාද එක් විය.

මෙහිදී වාහනයේ අංක තහඩුව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා විසින් වේගා මෝටර් රථය නිර්මාණය කළ කෝඩ්ජෙන් ඉන්ටර්නැෂනල් සමාගමේ හිමිකරු ආචාර්ය හර්ෂ සුබසිංහ මහතා වෙත ලබා දුන්නේය.

කෝඩ්ජෙන් සමාගම 2014 වසරේදී මෙම මෝටර් රථයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කළේය.

සුපිරි කාර් ගණයට වැටෙන මෙම රථයේ සියලු කොටස් සහ මෘදුකාංග ශ්‍රී ලංකාව තුළම නිර්මාණය කර නිපදවීම විශේෂත්වයකි.

වේගා කාර් රථය පැයට කිලෝමීටර් 240ක උපරිම වේගයකින් ධාවනය කළ හැකි අතර එක් වරක් බැටරිය ආරෝපණය (Charge) කිරීමෙන් පසු කිලෝමීටර් 240ක උපරිම දුරක් ධාවනය කිරීමේ හැකියාව පවතී.

උදිත ගුණවර්ධන


සිමෙන්ති සමාගමක අත්හදා බැලීමෙන් සාර්ථක ප්‍රතිඵල

බෝගල මිනිරන්වලින් “ග්‍රැෆීන් ඔක්සයිඩ්” නිපදවයි:

කෑගල්ල බෝගල පතල ශ්‍රී ලංකාවේ පැරණිතම මිනිරන් පතලයි. එය 1847 වසරේ ආරම්භ කර මේ දක්වාම පවත්වාගෙන යන අතර, අපේ රටට විදෙස් විනිමය ලබාදෙන ප්‍රධාන පෙළේ කර්මාන්තයක් ලෙස සැලකේ. බෝගල පතලේ මිනිරන්වල කාබන් ප්‍රතිශතය ඉහළ අගයක් ඇති නිසා විදෙස් රටවලින්ද ඉහළ ඉල්ලුමක් පවතී. මේ මිනිරන්වලින් රබර්, සිමෙන්ති සහ ප්ලාස්ටික්වලට යොදා ගැනීමට “ග්‍රැෆීන් ඔක්සයිඩ්” නිෂ්පාදනය කර මේ වන විට සිමෙන්ති නිෂ්පාදන සමාගමකට අත්හදා බැලීමට ලබාදීමෙන් පසුව එය සාර්ථක වී ඇති බව බෝගල පතලේ ප්‍රධාන විධායක නිලධාරි අමිල ජයසිංහ මහතා පවසයි.

අපේ රටේ පවතින රබර්, ප්ලාස්ටික්, සිමෙන්තිවලට මෙය තාක්ෂණානුකූලව කවලම් කිරීමෙන් පසුව වැඩි ශක්තියක් ගත හැකි අතර, එය දේශීය කර්මාන්තවලට ඉදිකිරීමේ කර්මාන්තයට මෙන්ම අනිකුත් බොහෝමයක් කර්මාන්තවලට යොදා ගත හැකි වේ. මේ නිෂ්පාදනය හරහා විදෙස් විනිමය වැඩියෙන් ලබා ගත හැකි නිෂ්පාදනයකි.

මෙහි පළමු නිෂ්පාදනය මුලින්ම විදේශ කටයුතු රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය මහතාට මෙන්ම තාක්ෂණ රාජ්‍ය ඇමැති වන කනක හේරත් මහතාට හඳුන්වාදීම කොළඹ පිහිටි ඇමැතිවරුන්ගේ අමාත්‍යංශවලදී සිදු කරන ලද්දේ බෝගල මිනිරන් පතලේ ප්‍රධාන විධායක නිලධාරි අමිල ජයසිංහ මහතා ඇතුළු මිනිරන් පතලේ පිරිසක් විසිනි.

සටහන සහ ඡායාරූප මාවනැල්ල විශේෂ සමන් විජය බණ්ඩාර


ස්වයං රැකියා වැඩමුළුවක්

නිෂ්පාදන වෙළෙඳපොළ ඉලක්ක කරගෙන ස්වයං රැකියාවක් ලෙස ආදායම් උත්පාදනයට කැමැත්තක් දක්වන අය සඳහා පාසල් ගම් සහ බයින්ඩින් ගම් නිෂ්පාදනය පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ඉකුත්දා ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විදාතා සම්පත් මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් ඩබ්.එම්.යූ. වීරසිංහ මහත්මියගේ උපදෙස් පරිදි විද්‍යා හා තාක්ෂණ නිලධාරි හේමන්ත වන්නිනායක මහතා විසින් මෙම පුහුණු වැඩසටහන පවත්වන ලදි. මෙම වැඩසටහනේ දී වෙළෙඳපොළේ වැඩි ඉල්ලුමක් පවතින පාසල් ගම් සහ බයින්ඩින් ගම් නිෂ්පාදනය පහසුවෙන් සිදු කර ගන්නා අන්දමත් වෙළෙඳපොළ අපේක්ෂා කරන ප්‍රමිතිය සහ ගුණාත්මය ආරක්ෂා කරගෙන තරඟකාරි ලෙස නිෂ්පාදනයක් එළි දක්වන ආකාරයත් පිළිබඳව පුහුණුලාභීන් ට දැනුම ලබා දෙන ලදි. වෙළෙඳපොළට අවශ්‍ය කරන ෆාමසි කවර, කඩදාසි බෑග් සකසන අයුරු ළදරු පාසල් පාසල්, වෙ‍ළෙඳ ආයතන සඳහා ඒවා අලෙවි කර දැනටමත් ආදායමක් ලබා ගන්නා අය සහ ඒ සදහා උනන්දුවක් දක්වන අය ඉලක්ක කර ගෙන මෙම වැඩසටහන පවත්වන ලදි.

අඹන්පොල විශේෂ සකුන්තලා ජයසිංහ

නව අදහස දක්වන්න