ජීවිතයේ ගැඹුර සොයා ළිං පතුල් කණින පාදුක්කේ දිරිය ළඳ | දිනමිණ

ජීවිතයේ ගැඹුර සොයා ළිං පතුල් කණින පාදුක්කේ දිරිය ළඳ

ජගත් කාන්තා දිනය අදයි

අද ජගත් කාන්තා දිනය යි. සිහින කුමරියන් නොවී මේ මහ පොළවේ පය ගසා ජීවත්වීමට වෙර දරන වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම දිරිය කාන්තාවක පිළිබඳ කතාවක් පාදුක්ක ගලගෙදර ප්‍රදේශයෙන් අපට අසන්නට ලැබිණි. වසර 25ක කාලයක් පුරා ගැඹුරු ළිංවලට බැස ළිං ඉහන ඒ දිරිය ළඳගේ කතාවයි මේ.

"මගේ නම මාලනී හෙට්ටිආරච්චි. මගේ ගම දිද්දෙණිය. විවාහ වෙලා පදිංචියට ආවේ පාදුක්ක ගලගෙදරට. මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. මම මේක පටන් ගත්තේ මුලින් ම රස්සාවකට කියලා නෙවෙයි. දවසක් අයියා කෙනෙක් "අනේ අපේ ළිඳට මොකෙක්ද වැටිලා ඉහළ දෙන්න පුළුවන් ද "කියලා ඇහුවම මම නොපැකිළිව ගිහිල්ලා හා කියලා ගියා. ගියාට පස්සේ ළිඳට බහින්න කෙනෙක් නැහැ. පස්සේ මම ම බැහැලා සුද්ද කරල දෙන්නම් කිව්වා. ඊට පස්සේ ඊළඟ සතිය වෙනකොට තව ගෙවල් දෙක තුනකට එහා ගෙදරක ආයෙ කතා කළා. ඊළඟට මම කළේ පරණ බඩු විකුණන තැනක් හොයලා එතැනින් ගත්තා පොම්පයක් අඩි 60ක් දිගට වතුර අදින්න පුළුවන්. ඒකෙන් ලොකු ම දෙයක් වුණා මට. ඒ පොම්පෙන් වැඩ කරලා තමයි මම ලොකු ගමනක් ගියේ. "මම තරුණ කාලෙ දී ගමේ බයිසිකල් රේස් එහෙම පැදලා තිබුණා. ඊට පස්සේ කල්පනා කලා කරන්න තියෙන එකම දේ මේක තමයි කියලා. බයිසිකල් පදින්න පුහුණුවීම් කරලා බයිසිකල් පැද්දා. එතකොට මම පැදපු ගොඩාක් ම ගම් මට්ටමින් අවුරුදු උත්සවය රේස්, බස්නාහිර පළාත්වල රේස් වගේ ඒවා මට ජයග්‍රහණය ලැබුණා. ඒක කරගෙන යන අතර තමයි මේ ළිං ඉහින දේ කරන්න පටන් ගත්තේ මේකෙන් ගොඩක් කුසල් රැස් වෙනවා. සමහර දවස්වලට ළිං පහ, හය, හත වගේ ඉහින දවස් තිබුණා. ඉහපු තවත් සමහර දවස්වලට ඉන් දෙක තුනක් ඒ වගේ තිබුණා පසුගිය කාලේ එක දවසට ළිං තිහක් ඉහපූ දවස් තිබුණා. අපි කණ්ඩායම් දෙක තුනක් එකතු වෙලා ළිං 30ම එහෙම ඉහාපු දවස් තියෙනවා.

මට ගොඩක් සතුටු වෙන්න පුළුවන්. මොකද මම මේ හිටිය තැන ඉඳලා ගොඩාක් දුර මම ඇවිල්ල කියල දැනෙනවා. මම ලොකු කැපවීමක් කරලා තමයි මේ තැනට ආවේ. දැන් නම් ඉතිං යා යුතු දුර ගොඩක් දුර ඇවිල්ලා. ඊළඟට තියෙන්නේ වෙනස් විදියේ ලොකු අරමුණු ගොඩක් විතරයි. දියුණුව අරවා මේවා ඕනෑ තරම් ඇති ආව දුර. මොකද තව ටික කාලයයි ජීවත් වෙන්නේ. ඉතින් ඇති කියලා හිතෙනවා දුරටකට ඒ ගමන ඇවිල්ලා. ඉතින්.... දැන් දහමට නැඹුරු වෙලා යා යුතු ගමනක් තියෙන්නේ තාම මගේ කෙනෙක් හරියට ම කරගෙන යනවා නම් මේක අතහැරලා දහම ගාවට යනවා කියලා තමයි අරමුණු කරගෙන ඉන්නේ. අභියෝග ජය ගන්න නම් අපි උත්සාහවන්ත වෙන්න ඕන හැම කෙනා ම කරන දේ දිහා බලාගෙන හරි කමක් නැහැ. අපි පස්සට යන්නේ නැතිව ඉස්සරහට ම යන එක තමයි මගේ අරමුණ. ඉතින් මම කාන්තාවක විදියට කාන්තාවන්ට දෙන්න පුළුවන් ආදර්ශය නම් කාන්තාවක කියලා මට බැහැයි කියලා කිසි දෙයක් නැහැ කියන එකයි. මමත් ගොඩක් අසරණ වෙච්ච වෙලාවක තමයි මේ ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙන්න පටන් ගත්තේ. ඒ නිසා මම හිතනවා හැම අවස්ථාවක ම අපේ උත්සාහය තමයි මුලින් ම තියෙන්න ඕන.

කාන්තාවන් විදිහට අපි කිසිම විට පසුබා යන්න හොඳ නැහැ. ජීවිතයට මුහුණ දෙන්න ඕනෑ. මාලිනි තිර අදිටනින් පැවසුවා ය. ඇයගේ සහායිකාව කුමාරගේ ධම්මිකා ය. සිය පුංචි අම්මාට දිරිය දෙමින් ඇය ළඟින් ම රැඳී සිටින ධම්මිකා ලබා දෙන අතහිත සිහිපත් කරන්නට ද මාලිනී මේ මොහොතේ අමතක නොකළා ය. ජගත් කාන්තා දිනයේ මේ දිරිය ළඳුන් දෙදෙනාට ම අපි දිරිය හා සවිය පතමු.

ගොඩගම සමුහ ප්‍රියංගි ජයසිංහ

නව අදහස දක්වන්න