උතුරේ ගවයන්ට වැලඳී ඇත්තේ වෛරස් රෝගයක් | දිනමිණ

උතුරේ ගවයන්ට වැලඳී ඇත්තේ වෛරස් රෝගයක්

බුද්ධිකා ඉඹුලාන

මුලතිව් දිස්ත්‍රික්කයේ මේ දිනවල ගවයන් අතර පැතිර යන රෝගී තත්ත්වය වෛරසයක් හේතුවෙන් ඇති වන සමේ ගැටිති සහිත රෝගය හෙවත් Lumpy Skin Disease (LSD) බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් සංවර්ධන අංශය අවධාරණය කරයි.

මේ රෝගී තත්ත්වය සම්බන්ධව වහාම සොයා බලන්නැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පශු සම්පත් සංවර්ධන අංශයට ඊයේ (07) උපදෙස් දුන් අතර, මේ රෝගී තත්ත්වය දැනට උතුරු පළාතේ දිස්ත්‍රික්ක හතරකම පැතිරී ඇති බවට වාර්තා වන නිසා විශේෂ පශු වෛද්‍ය කණ්ඩායමක් ඒ පිළිබඳව සොයා බැලීමට පිටත් කර යැවීමට පියවර ගැනිණි.

මේ රෝගී තත්ත්වය අනෙක් ප්‍රදේශවලට ව්‍යාප්ත වීම වළක්වාලීමට උතුරු පළාතේ සිට සතුන් සහ සත්ත්ව නිෂ්පාදන ප්‍රවාහනය මේ වන විට තාවකාලිකව තහනම් කර තිබේ. ඒ රෝගී තත්ත්වය පිළිබඳව තොරතුරු පැහැදිලි කළ අමාත්‍යාංශ අතිරේක ලේකම් වෛද්‍ය එල්.ඩබ්.එන්. සමරනායක මහතා මෙලෙස පැවැසීය.

"මේ රෝගී තත්ත්වය සම්බන්ධව බිය විය යුතු නෑ. පශු වෛද්‍ය නිලධාරීන් දෙන උපදෙස් පිළිපදින්න. මේ රෝගී තත්ත්වය මෙරටින් පළමුවෙන්ම වාර්තා වී ඇත්තේ 2019දී. වෛරසයකින් ව්‍යාප්ත වන මේ රෝගය නිසා ගවයන් මරණයට පත් වීම අල්පයි. සමෙහි හට ගන්නා ගැටිති ගැලවී වැටීම නිසා තුවාල ඇති වෙනවා. ඒවාට ප්‍රතිකාර දීමෙන් සුව වෙනවා. මේ රෝගී තත්ත්වය වෛරසයක් හේතුවෙන් හට ගන්නා නිසා එක් වරක් එම රෝග වැලඳුණු ගවයකුට නැවත එම රෝගය වැලඳීමේ හැකියාවක් නෑ.

මේ රෝගය ගව මුඛ සහ කුර රෝගය මෙන් සුළඟින් ව්‍යාප්ත වන්නේ නෑ. බෝ විය හැකි එකම ක්‍රමය රෝගී සතුන් අනෙක් සතුන් හා ස්පර්ශ වීමෙන් පමණයි. එම නිසා රෝගී සතුන් ගව පට්ටිවලින් ඈත් කර හුදෙකලාව තැබීම කළ යුතුයි. එම සතුන් ස්පර්ශ කරන්නේ නම්, හොඳින් විසබීජ නාශක යොදා දෑත් පිරිසුදු කර ගැනීමකින් තොරව අනෙක් සතුන් ස්පර්ශ කිරීම නොකළ යුතුයි.

හොඳින් පශු පාලනය සිදු කෙරෙන නුවරඑළිය වැනි දිස්ත්‍රික්කවල සත්ත්ව පාලනය සිදු කෙරෙන ගොවිපොළවලට බාහිර පුද්ගලයන් ඇතුළු කිරීම, කිරි එකතු කරන භාජන විසබීජානුහරණය කිරීමෙන් පසු පමණක් භාවිතයට ගැනීම ආදී රෝග වළක්වා ගැනීමේ පියවර රැසක් මේ වන විටත් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ගෙන තිබෙනවා."

නව අදහස දක්වන්න