කෑගල්ලේ මිනීමැරුමකට පස් දෙනෙක් පෝරකයට | දිනමිණ

කෑගල්ලේ මිනීමැරුමකට පස් දෙනෙක් පෝරකයට

කෑගල්ල දේවාලේගම කහගල්ල ප්‍රදේශයේ නිවසකදී හිසට සිමෙන්ති ගඩොල් කැටයකින් පහර දී මනුශ්‍ය ඝාතනයක් කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් පස් දෙනකුට ඊයේ (08) කෑගල්ල මහාධිකරණ විනිසුරු ජයකි ද අල්විස් මහත්මිය මරණ දඬුවම නියම කළාය.

මෙලෙස මරණ දඬුවම නියම වුයේ අංක 90 කහගල්ල දේවාලේගම ලිපිනයේ පදිංචිව සිටින කුරුවිට ආරච්චිලාගේ දොන් චමින්ද ක්‍රිශාන්ත පෙරේරා, දික්ඇල්ල කෑගල්ල ලිපිනයේ පදිංචිව සිටින විල්ගම යද්දෙස්සලාගේ වසන්ත කුමාර, ටිකිරා කොටුව උඩබෝගල උදුගොඩ ලිපිනයේ පදිංචිව සිටින අසංක ප්‍රදීප් කුමාර, කරදැටියන දේවාලේගම පදිංචිව සිටින කලන්සූරියලාගේ ගයාන් චින්තක කලන්සූරිය, කන්දේ ගෙදර දේවාලේගම ලිපිනයේ පදිංචිව සිටින ජයලත්ගේ සුරංග දර්ශන ජයලත් යන පස් දෙනාය.

ඊයේ 08 වැනිදා නඩුව කැඳවු අවස්ථාවේ දී විත්තිකරුවන් පස් දෙනා පිළිවෙළින් අධිකරණයේ පෙනී සිටි අතර මහධිකරණ විනිසුරු ජයකි ද අල්විස් මහත්මිය අධිකරණයට දන්වා සිටියේ විත්තිකරුවන් පස් දෙනා මනුශ්‍ය ඝාතනය සම්බන්ධයෙන් වැරිදිකරුවන් කරන බවයි. මරණ දඬුවම නියම කිරීමට ප්‍රථම යමක් ප්‍රකාශ කිරීමට ඇද්දැයි ඇය විමසූ අවස්ථාවේ විත්තිකරුවන් පස් දෙනා වෙන වෙනම කියා සිටියේ තමන් මෙම මරණ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවය. පසුව මහධිකරණ විනිසුරුවරිය කියා සිටියේ තීන්දුව සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කළ හැකි බවයි. පසුව විත්තිකරුවන් පස් දෙනාට මරණ දඬුවම නියම කළාය.

2014 ජූලි මස 03 වන දින හෝ ඊට ආසන්න දිනක දී දේවාලේගම පොලිස් වසමේ කහගල්ල ග්‍රාමයේ බිරිදගේ නිවස ආසන්නයේ තාවකාලිකව පදිංචිව සිටි කොටියාකුඹුර පොල්ගම්පොළ ග්‍රාමයේ පදිංචිව සිටි අලහකෝන් මුදියන්සේලාගේ නන්ද අලහකෝන් නමැති 39 හැවිරිදි දෙදරු පියා ඝාතනයකට ලක්ව තිබුණි.

ඝාතනයට ලක්ව ඇති දෙදරු පියා කොටියාකුඹුර පොල්ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු ගුවන් හමුවේ සේවය කර පසුව නීත්‍යනුකූලව ඉවත් වී සිට තිබේ. පසුව මරණකරු ප්‍රදේශයේ පාසලක් වන අරුග්ගම්මන විද්‍යාලයේ උප ගුරුවරියක් ලෙස සේවය කරමින් සිටි දේවාලේගම කහගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන 2004 වර්ෂයේ විවාහ කරගෙන පොල්ගම්පොළ නිවසට කැන්දාගෙන ගොස් තිබේ. පසුව මරණකරු වසර තුනකට ආසන්න කාලයක් කොරියා රාජ්‍යයේ රැකියාවක් කර දිවයිනට පැමිණ සිටින අවස්ථාවේ දී තදින්ම මත්පැන් පානය කිරීමට පුරුදුව උප ගුරුවරියක් වන බිරියට පවුල් ආරවුලක් මුල් කරගෙන බැණ පහර දීමක් ද සිදු කර තිබේ. පසුව බිරිය දේවාලේගම පොලිස් වසමේ කහගල්ල මහ ගෙදරට දරුවන් දෙදෙනා සමඟ පැමිණ සිටින අවස්ථාවේ දී මරණකරු ද බිරිඳගේ මහ ගෙදරට පැමිණ තිබේ.

මරණකරුගේ බිරිඳගේ ඥාති සහොදරයකු ද මහ ගෙදරට ආසන්නයේ නිවසක් තනාගෙන ජීවත් වෙමින් සිටින අතර 2014 ජුලි 03 වැනිදා හෝ ඊට ආසන්න දිනක දී මරණකරු බිරිඳගේ ඥාති සහොදරයාගේ නිවසට ගොස් මරණකරු සමඟ හය දෙනෙක් රාත්‍රි මත්පැන් පානය කරමින් සිටින අවස්ථාවේ දී පානය කරමින් සිටි මත්පැන් බෝතලය බිමට වැටී බිඳී යාමෙන් පසුව බෝතල් කටුවකින් මරණකරුගේ කකුල කැපී තුවාල ලබා මත්පැන් පානය කර සිටි පුද්ගලයෙකුගේ ත්‍රිරෝද රථයකින් කෑගල්ලට ගොස් ප්‍රතිකාර ලබාගෙන ආපසු නිවසට පැමිණ තිබේ. එහි දී මරණකරු නිවසට ගොස් පිහියක් ගෙන ආපසු මිදුලට පැමිණෙන අවස්ථාවේ දී එක් විත්තිකරුවෙක් මිදුලේ ගොඩ ගසා තිබුණු සිමෙන්ති ගඩොල් ගොඩකින් එක් සිමෙන්ති ගඩොලයක් ගෙන හිසට පහර දී ඝාතනය කොට තිබේ.

පසුව ඝාතනය සම්බන්ධයෙන් එවකට කෑගල්ල මුලස්ථාන පොලිසියේ පොලිස් පරීක්ෂකවරුන් වන තෝරදෙනිය, සමන් කීර්ති, උප පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර බණ්ඩාර පොලිස් සැරයන් නිමල් (56391) නිලධාරින් මූලික විමර්ශන කටයුතු සිදු කර කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.

පසුව එවකට කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයාව සිටි විශේෂඥ වෛද්‍ය රමේෂ් අලගියවන්න මහතා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර හිසට පහර දීමෙන් සිදු වු හදිසි මරණයක් බවට අධිකරණයට වාර්තා කර තිබුණි.

පසුව ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනා අත්අඩංගුවට ගෙන කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණ. කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නොවන නඩු විභාගයකින් අනතුරුව නීතිපතිවරයා වෙත යොමු කොට එක් අධි චෝදනාවක් යටතේ අංක 4030/2019 සබරගමුව පළාත් බද කෑගල්ල මහාධිකරණයට යොමු කොට තිබුණි.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ අරින්ද්‍ර ජයසිංහ මහතා පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් වන ටයිටස් මනතුංග, රංජිත් සේනාධීර සිතිරා ස්වර්ණපාලී වෛද්‍යසේකර, ජීවනී අතුකෝරල යන මහත්ම මහත්මීන් පෙනී සිටියේය. කෑගල්ල මුලස්ථාන පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් ප්‍රදීප් (32939) නිලධාරියා ද පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියාය.

කෑගල්ල විශේෂ චමින්ද ජයලත් සබරගමුව සමූහ ගාමිණී රම්‍යපාල

නව අදහස දක්වන්න