අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් සටනට බලාපොරොත්තු පොදිබැඳ ශ්‍රී ලංකා පිල අද නවසීලන්තයට එරෙහිව තරග බිමේ | දිනමිණ

අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් සටනට බලාපොරොත්තු පොදිබැඳ ශ්‍රී ලංකා පිල අද නවසීලන්තයට එරෙහිව තරග බිමේ

මැතිව්ස් වාර්තාගත කඩඉමක් අබියස

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර, පළමු ටෙස්ට් තරගය අද (9) ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 3.30ට ක්‍රයිස්චර්ච් නුවරදී ඇරැඹීමට නියමිතව තිබිණි. දෙපිල අතර තරග 2කින් සමන්විත ටෙස්ට් තරගමාලාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට උදාකර දී ඇති බැවින් තරග දෙකම ශ්‍රී ලංකාවට අතිශය වැදගත්ය.

මේ වන විට ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවන අතර, අවසන් තරගයට එක්වීමට නම් තරග දෙකම ජයගත යුතුව තිබේ. පසුගිය වාරයේ ලෝක ටෙස්ට් ශූරයන් වූ නවසීලන්තය මේ වන විටත් එම තරගාවලියේ ඉවතට විසි වී සිටින බැවින් තරගාවලිය තීරණාත්මක වී ඇත්තේ ශ්‍රී ලංකා පිලටය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට තරග දෙක ජයගැනීම පමණක් ප්‍රමාණවත් නොවන අතර, ඒ සඳහා අද (9) ආරම්භ වන ඔස්ට්‍රේලියා - ඉන්දියා අවසන් ටෙස්ට් තරගයේ ප්‍රතිඵලය දෙස ද බලා සිටීමට සිදු වී තිබේ. මේ වන විට 68.52%ක ජයග්‍රහණ ප්‍රතිශතයක් සමඟින් ඔස්ට්‍රේලියා අවසන් තරගයේ ස්ථානය වෙන් කර ගෙන ඇති අතර, ඉන්දියාව 60.29ක ප්‍රතිශතයක් ලබා දෙවැනි තැන හා ශ්‍රී ලංකාව 53.33ක ප්‍රතිශතයක් ලබා තුන්වැනි තැන සිටියි. එබැවින් නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගමාලාව 2-0කින් ජයගැනීම මෙන්ම ඉන්දියාව අබිබවා යන ප්‍රතිශතයක් ද පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකාවට සිදු වී තිබේ. ඒ අනුව මේ තරගමාලාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමට අභියෝග රැසකට මුහුණ දීමට සිදුවනු ඇත. ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම ටෙස්ට් තරගයකට එක් වන්නේ මාස 8කට පසුව වන අතර, නවසීලන්තයට එරෙහිව ඔවුන්ගේ භූමියේදී මෙතෙක් පූර්ණ ටෙස්ට් තරගමාලා ජයක් ද ලබා නැත.

එමෙන්ම ජයග්‍රහණ ඉඩෝරයකින් පෙළුණු නවසීලන්තය එංගලන්තයට එරෙහිව අවසන් ටෙස්ට් තරගයෙන් ඉතිහාසගත ජයක් වාර්තා කරමින් යළි ජයග්‍රාහී මාවතට පිවිස සිටී. ඔවුන් එම තරගය ජය ගත්තේ පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහර දෙමින් (follow-on) වීම කැපී පෙනිණි.

මේ දෙපිල මේ දක්වා ටෙස්ට් තරග 36ක් ක්‍රීඩා කර ඇති අතර, නවසීලන්තයේදී ක්‍රීඩා කළ ඉන් තරග 19කින් ශ්‍රී ලංකාව ජය ගෙන ඇත්තේ තරග 2ක් පමණි. ඉන් එක් අවස්ථාවක් ඉතිහාසයට එක්වූයේ නවසීලන්තයේදී පළමුවරට ටෙස්ට් තරගමාලාවක් ජය ගැනීමෙනි. එය සිදු වූයේ 1995 වසරේදී වන අතර, ශ්‍රී ලංකාව තරග 2කින් සමන්විත එම ටෙස්ට් තරගමාලාව 1-0කින් ජය ගත්තේය.

අද පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන ක්‍රයිස්චර්ච්හී හැන්ග්ලි ඕවල් ක්‍රීඩාංගණයේ තණතිලි තණකොළ සහිත බැවින් තරගයේ අවසන් දිනවල දඟ පන්දු යවන්නන්ට වැඩි වාසියක් අත්වීමට ඉඩ ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත් මේ තරගයේ මුල් දින දෙකට වර්ෂාවෙන් බාධා වීමට ඉඩ ඇති බවට ද එරට කාලගුණ අංශ අනතුරු අඟවා තිබේ.

පූර්ණ තරගාවලි ජයක් සමඟින් ලෝක ශූරතාවලියේ අවසන් තරගයට එක් වීම කණ්ඩායමේ සියලු දෙනාගේ බලාපොරොත්තුව බව පවසන ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ඒ සඳහා සියලු දෙනා හොඳ සූදානමින් සිටින බව ද කියා සිටියේ තරග සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදීය.

කෙසේ වෙතත් පූර්ණ ජයට පෙර මේ තරගය ජයගත යුතු බව කී දිමුත් මේ දිනවල නවසීලන්තයේ පවතින දේශගුණය නිසා දඟ පන්දු යවන්නට වාසිදායක වනු ඇති බවත් කියා සිටියේය. එහෙත් කණ්ඩායම මාස 8කින් ටෙස්ට් තරගයක් ක්‍රීඩා නොකිරීම අවාසියක් බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අද තරගයට ක්‍රීඩා කරන කණ්ඩායමේ සංයුතිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඊයේ වන විට අවසන් තීරණයක් ගෙන නැති බවය. නවකයන් ලෙස කණ්ඩායමට එක් වූ නිශාන් මධුෂ්ක සහ මිලාන් රත්නායක සම්බන්ධයෙන් ඔහු පැවසුවේ මේ තරගයේදී ඔවුන්ට ටෙස්ට් වරම් ලැබීමට ඇති අවස්ථාව ඉතා අඩු බවකි.

“නිශාන් හොඳින් පන්දුවට පහර දෙනවා. ඒත් අපේ පිතිකරු සංයුතිය අනුව ඉදිරි පෙළ ස්ථාවර නිසා ඔහුට පළමු තරගයේ අවස්ථාව අඩුයි. යම් විදිහක ක්‍රීඩක ආදේශයක් කරන්න වුණොත් නිශාන් මුල් පෙළේ පිතිකරුවකු ලෙස දෙවැනි තරගයේදී ක්‍රීඩා කරයි. අත්දැකීම් ඇති ප්‍රධාන වේග පන්දු යවන්නන් වන කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු හා විශ්ව ප්‍රනාන්දු මේ තරගයට ක්‍රීඩා කරයි. වේග පන්දු යවන මිලාන් හොඳින් පන්දු යවමින් සිටිනවා. ඒ නිසා මේ තරගයෙන් අනතුරුව ඔහුට අවස්ථාව දීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලනවා” දිමුත් පැවසීය.

ලෝක ශූරතාවලියට අමතරව අද ආරම්භ වූ තරගය ශ්‍රී ලංකා පිලේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට තීරණාත්මක තරගයක් වී තිබේ. ඒ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු රැස්කළ පිතිකරුවන් අතර තෙවැනි ස්ථානය දක්වා ඉහළ නැඟීමට ඔහුට තවත් ලකුණු 21ක් පමණක් අවශ්‍ය වී ඇති බැවිනි. එමෙන්ම ටෙස්ට් ලකුණු 7000 සඳහා ඔහුට තවත් අවශ්‍යව ඇත්තේ ද ලකුණු 47ක් පමණි. අද ආරම්භ වූ තරගයේදී මැතිව්ස් මේ කඩඉම පසු කළ හොත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 7000ක් රැස් කළ තෙවැනි පිතිකරු බවට ඔහු වාර්තා අතරට එක්වනු ඇත. මේ වන විට එම සීමාව පසු කර ඇත්තේ කුමාර් සංගක්කාර (12400) සහ මහේල ජයවර්ධන (11814) පමණි. මේ වන විට මැතිව්ස් තරග 100කදී ලකුණු 6953ක් රැස් කර ඇති අතර, වැඩිම ලකුණු ලාභීන් අතර, තෙවැනි ස්ථානයේ සිටින සනත් ජයසූරිය රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 6973කි.

ශ්‍රී ලංකා පිතිකරුවන් අතුරින් නවසීලන්තයේදී හොඳම වාර්තාව ද සතුව ඇත්තේ මැතිව්ස්ගේ නමටය. ඔහු අවසන් නවසීලන්ත සංචාරයේදී ශතකයක් (120), අර්ධ ශතකයක් (83) සමඟ නොදැවුණු ඉනිම 3ක් ක්‍රීඩා කළේ සාමාන්‍ය 55.88ක් ලෙස සටහන් කරමිනි.

නිරෝෂාන් ප්‍රියංකර

නව අදහස දක්වන්න