සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට නීතිය විෂයත් | දිනමිණ

සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට නීතිය විෂයත්

ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ

සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට නීතිය විෂයක් ලෙස ඇතුළත් කිරීමට අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කර ඇති බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ හා සහායවීමේ දිනය වෙනුවෙන් බත්තරමුල්ල, පැලවත්ත විද්‍යාවර්ධන මහා විද්‍යාලයේදී (07) සංවිධානය කර තිබූ උත්සවය අමතමිනි.

අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් සුරකින සමාජයක් යන තේමාව යටතේ මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර, ඒ වෙනුවෙන් සමරු මුද්දරයක් හා මුල් දින කවරයක් නිකුත් කිරීමද සිදු විය.

උත්සවය ඇමතූ අධිකරණ ඇමැතිවරයා මෙසේ ද සඳහන් කළේය.

යුක්තිය හා සාධාරණය ඉටු කිරීමේ ක්‍රියාවලියේදී වින්දිතයා සහ සාක්ෂිකරුවාගේ ආරක්ෂාව අතිශයින් වැදගත් වන වා. නීතියේ ආධිපත්‍යය නොමැති රටක් තුළ කිසිවෙකුගේ ජීවිතයක සුරක්ෂිත බවක් පිළිබඳව විශ්වාසක් නෑ.

2015 අංක 04 දරන අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය 2016 වසරේ පිහිටුවනු ලැබුවා. සාධාරණ නඩු තීන්දු ලබා ගැනීම වෙනුවෙන් සාක්ෂිකරුවාගේ ආරක්ෂාව තහවුරු වී වින්දිතයාට යුක්තිය ඉටු විය යුතුයි. බරපතළ අපරාධ නඩු සඳහා සාක්ෂි ලබාදීමට සාක්ෂිකරුවන් ඉදිරිපත් නොවන්නේ තම ජීවිතය සම්බන්ධව පවතින බිය නිසයි.

රටේ මූලික නීතිය පිළිබඳව සාමාන්‍ය ජනතාවට පවතින දැනුම අල්ප බැවින් රජයක් ලෙස ජනතාවට නීතිය සම්බන්ධව දැනුම ලබාදීමට කටයුතු කළ යුතුයි. ඒ සඳහා අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය වැනි ආයතන මූලිකත්වය ගෙන සාමාන්‍ය ජනතාවට මෙන්ම පාසැල් ළමුන් තරුණ තරුණියක් ඉලක්ක කර ගත් වැඩ පිළිවෙළක් දියත් කළ යුතුයි.

සාමාන්‍ය නීතිය පිළිබඳව මහ ජනතාවට පවතින අල්ප දැනුම හේතුවෙන් ඇතැම් රාජ්‍ය නිලධාරීන් හා දේශපාලඥයින් අනිසි ප්‍රයෝජන ලබා ගන්නා බැවින් රටේ මුඛ්‍ය නීතිය සම්බන්ධ පාසැල් ළමුන්ට දැනුම ලබාදීම සඳහා මේ වන විටත් නීතිය ඉගැන්වීම සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට විෂයක් ලෙස ඇතුළත් කිරීමට පියවර ගනිමින් සිටිනවා.

අවුරුදු 2500ක ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් ඇති බව සඳහන් කරමින් උදම් අනමින් කථා කළ ද තම බිරිඳ ස්වාමියාගෙන්, දරුවන් පියාගෙන් ආරක්ෂා කිරීමට නීති හදන්න සිදු වීම ඛේදනීය තත්ත්වයක්, මෙවැනි තත්ත්වයන් සඳහා පුද්ගලයන් ලබා ඇති අධ්‍යාපන මට්ටම හේතු වී ඇත. පෙර පාසැල් දරුවාගේ සිට විශ්වවිද්‍යාල සිසුන් දක්වා මෙරට අධ්‍යාපන ක්‍රමවේදයේ ගුණාත්මක වෙනසක් අවශ්‍ය බවත්, අධිකරණ අමාත්‍යතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරියේ සභාපති ජනාධිපති නීතිඥ සුහද ගම්ලත් මහතා ද මෙහිදී අදහස් පළ කළ අතර, අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය ඇමැති නීතිඥ, අනුරාධ ජයරත්න, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් බී.කේ.එස්. රවීන්ද්‍ර, තැපැල්පති රුවන් සත් කුමාර, නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ, මුද්දර කාර්යාංශයේ අධ්‍යක්ෂ ලංකා ද සිල්වා, විශේඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු, විද්‍යාවර්ධන මහා විද්‍යාලයේ විදුහල්පතිනී චන්ද්‍රිකා ජයවර්ධන යන මහත්ම මහත්මීන්, ගුරුවරුන් පැසැල් දරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර, පාසැල් ළමුන් දැනුම්වත් කිරීමේ වැඩ සටහන් කිහිපයක් ද මෙහිදී සංවිධානය කර තිබුණි.

 

රෝෂන් තුෂාර

 

නව අදහස දක්වන්න