යෝජිත පළාත් පාලන ආයතන මැතිවරණ (සංශෝධන) පනත් කෙටුම්පත ගැන සලකා බැලීමක් | දිනමිණ

යෝජිත පළාත් පාලන ආයතන මැතිවරණ (සංශෝධන) පනත් කෙටුම්පත ගැන සලකා බැලීමක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  ප්‍රේම්නාත් සී. දොළවත්ත සහ ඉමිතියාස් බාකීර් මාකර් යන මහත්වරු විසින් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් ලෙස ඉදිරිපත් කරන ලද පළාත් පාලන මැතිවරණ (සංශෝධන) පනත් කෙටුම්පත් ද්විත්වයක්, අමාත්‍යාංශ වාර්තා සමඟ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේදී පසුගියදා සලකා බැලිණි.
 
ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්විය.
 
ස්ථාවර නියෝග 53(4) ප්‍රකාරව “පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන මන්ත්‍රීවරයාගේ මූලික අභිලාෂයට අනුකූල නොවන කිසි වගන්තියක් පනත් කෙටුම්පතකට ඇතුළත් කරනු ලැබීමට ඉඩ නොදෙනු ලැබිය යුතු ය” යන විධිවිධානයට අනුව පනත් කෙටුම්පත්හි අන්තර්ගතය සලකා බැලීම මෙහිදී සිදුවිය. 
 
ඒ අනුව  ඉමිතියාස් බාකීර් මාකර් මහතා විසින් ඉදිරිපත් කර තිබූ (126) පනත් කෙටුම්ප‍තේ තරුණ නියෝජනයක් පිළිබඳව වන බව සලකා බලමින් නැවත කෙටුම්පත් කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කාරක සභාව විසින් නීතිපති දෙපාර්තමේන්තුවෙන් සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවෙන් පැමිණ සිටි නිලධාරීන් හට උපදෙස් දෙන ලදී.
 
තවද  ප්‍රේම්නාත් සී. දොළවත්ත මහතා විසින් ඉදිරිපත් කර තිබූ (160) පනත් කෙටුම්පතෙහි කාන්තා නියෝජනයක් පිළිබඳව සඳහන් වුව ද, දැනටමත් ප්‍රධාන ප්‍රඥප්තියෙහි කාන්තා නියෝජනය පිළිබඳව සඳහන් වන බැවින් ඒ පිළිබඳව වූ කොටස ඉවත් කර 25%ක සමස්ත තරුණ නියෝජනයක් පිළිබඳව අන්තර්ගත විය යුතු යැයි කාරක සභාව විසින් අදහස් කරන ලදී. 
 
එබැවින් 160 වන පනත් කෙටුම්පතෙහි අනුග්‍රාහක මන්ත්‍රීවරයාගේ ද එකඟතාවය මත එකී පනත් කෙටුම්පත ද නැවත කෙටුම්පත් කරමින් වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙස ද කාරක සභාව නිලධාරීන්හට දැනුම් දුන්නේය.
 
අමාත්‍යවරුන් වන  නිමල් සිරිපාල ද සිල්වා,  අලි සබ්රි, රාජ්‍ය අමාත්‍යවරුන් වන  ජානක වක්කුඹුර,  සිසිර ජයකොඩි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන  රාජිත සේනාරත්න,  (මහාචාර්ය) චන්න ජයසුමන, අජිත් මාන්නප්පෙරුම,  සාරතී දුෂ්මන්ත,  කෝකිලා ගුණවර්ධන, මිලාන් ජයතිලක,  (මේජර්) සුදර්ශන දෙනිපිටිය,  ප්‍රේම්නාත් සී. දොලවත්ත, සහන් ප්‍රදීප් විතාන,  මධුර විතානගේ, සාගර කාරියවසම්,  මංජුලා දිසානායක යන මහත්ම මහත්මීන් මෙම කාරක සභා රැස්වීමට සහභාගි වූහ.

නව අදහස දක්වන්න