පවුල් ආරවුල් සිය දිවි නසා ගැනීම්වලට හේතුවයි | දිනමිණ

පවුල් ආරවුල් සිය දිවි නසා ගැනීම්වලට හේතුවයි

ආචාර්ය අනුෂා එදිරිසිංහ අපරාධ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කැලණිය විශ්වවිද්‍යාලය

  • සමාජානුයෝජනය හොඳ නම් හොඳ පෞරුෂයක් ගොඩනැඟෙනවා
  • පාසල් විෂයක් ලෙස මනෝ විද්‍යා විෂය ඇතුළත් විය යුතුයි
  • සමූහ දිවි නසා ගැනීම් සමස්ත සමාජ ව්‍යුහයේම ගැටලුවක්

වවුනියාව ගුඩ්ෂෙඩ් පාරේ නිවෙසක සැමියා විසින් සිය දරු දෙදෙනාට සහ බිරියට වස පොවා ඔහු ද බාල්කයක එල්ලී දිවි නසා ගත් පුවතක් ගැන ඊයේ මාධ්‍ය වාර්තා කළේය. මේ ආකාරයේ සිය දිවි හානි කර ගැනීම් සම්බන්ධයෙන් මේ දිනවල දිනපතාම පාහේ විවිධ ශෝකජනක පුවත් අසන්නටත්, දකින්නටත් ලැබෙයි. එක් පැත්තකින් ආර්ථික අවපාත සාධකය ඉහළ යද්දී, අනෙක් පැත්තෙන් සමාජ පීඩනය ඔඩු දුවමින් පවතී. මේ සියලු කතා මධ්‍යයේ සමාජ යන්ත්‍රණය සිදු වෙයි. රටේ පුරවැසියන්ගේ මානසික සෞඛ්‍ය මට්ටම දුර්වල වීම හා එය සමාජ ප්‍රගමනයට බල පාන්නේ කෙසේද ඇතුළු කරුණු කාරණා රැසක් ගැන කැලණිය විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අනුෂා එදිරිසිංහ සමඟ කළ කතා බහ මෙසේ දක්වමු.

l ඔබේ අධ්‍යයන ක්ෂේත්‍රයට අනුව සිය දිවි හානි කර ගැනීම කෙසේ අර්ථ ගැන්වේද?

සිය දිවි නසා ගැනීමේදී ඇත්තටම සිදු වන්නේ තමන් විසින්ම තමන්ගේ ජීවිතය නැති කර ගැනීමයි. අපරාධ නීතිය තුළ ඉතා පැහැදිලිවම මෙහි නෛතික ප්‍රතිපාදන ගැන සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මෙය සමාජ ගැටලුවක් විදිහටයි හඳුන්වන්නේ. ඒ වගේම මේක සමස්ත සමාජයටම කරනු ලබන හානියක් විදිහටත් සඳහන් වෙනවා. මෙය මීට පෙර අපරාධ විද්‍යාවේදී වරදක් විදිහට දණ්ඩ නීති සංග්‍රහයට අනුව සලකළා තිබුණා. පසු කලීනව එය වෙනස් කළා. සිය දිවි නසා ගන්න කෙනාට දඬුවම් කිරීම කියන කාරණය හරියට '' ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ '' වැඩක්. ඇත්තටම කෙනෙක් සිය දිවි හානි කර ගන්නේ මානසික ප්‍රශ්නයක් නිසයි. ඒ නිසා දැන් ඒක සංශෝධනය කරලයි තියෙන්නේ. කෙනෙකුට ජීවිතය තොර කර ගැනීමට කිසියම් කෙනෙක් බලපෑමක් කළොත්, ඔහුට එරෙහිව දඬුවම් දෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් පෙන්වා දෙනවා නම්, කෙනෙක් සිය දිවි හානි කර ගන්නවා ලියුමක් ලියලා තියලා. ඒ ලියුමේ ඔහුගේ මරණයට වග කිව යුතු කෙනා ගැන ලියලා තියෙනවා නම්, ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකියි.

l කෙනෙක් සිය දිවි හානි කර ගන්නේ ඇයි?

මේ කාරණාවට බලපාන්නේ මානසික ව්‍යාකූලතාවයයි. කෙනෙකුට මානසික ව්‍යාකූලතාවය ඇති වෙන්න විවිධ හේතු සාධක බලපානවා. ඒකට සමාජ විද්‍යාත්මක කාරණා බලපාන්න පුළුවන්. නමුත්, මෙයට මොන සමාජ විද්‍යාත්මක කාරණාව බලපෑවත් අවසාන වශයෙන් තීරණය වෙන්නේ මානසික සෞඛ්‍ය බිඳ වැටීම කියන කාරණාවයි. මානසික සෞඛ්‍ය බිඳ වැටීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි පුද්ගලයා සිය දිවි හානි කර ගන්නේ. විශේෂයෙන්ම මේ දවස්වල මේ ප්‍රශ්නය ඉතා බරපතළයි. ළමයින්ගේ පැත්තෙන් බලන විට මේ කාරණය වෙනස්. ළමයින්ගේ සමාජානුයෝජනයෙ තියෙන ප්‍රශ්නයක් තමයි මේ. අද ළමයාගේ පෞරුෂය ගොඩක් දුර්වල තැනකයි තියෙන්නේ. ඉවසීමක් නෑ. ළමයින්ට වැඩිහිටියන් අවවාදයක් දුන්නත්, හදිසි තීන්දු, තීරණ ගන්න යනවා. ළමයින්ට යමක් දරාගන්න හැකියාවක් නෑ. අන් අයත් එක්ක මුහුවෙලා කතා කරන්න බැරි කමත් එක් ප්‍රධාන හේතුවක්. දැන් ළමයින් ගමනක්, බිමනක් ගියත් කිසි කෙනෙක් එක්ක කතා කරන්නෙත් නෑ. ළමයි ඉන්නේ ෆෝන් එකෙයි. සමාජ අනුකරණය සිය දිවි හානි කර ගැනීමට සෘජුවම බලපානවා. ඇතැම් අය රට ජාතිය වෙනුවෙන් සිය දිවි නසා ගත්තා. ඒ අයගේ සමාජ අනුකරණය වැඩියි. ඒක නිසයි එයා රට ජාතිය වෙනුවෙන් සිය දිවි හානි කර ගත්තේ. නමුත්, අති බහුතරයක් සිය දිවි හානි කර ගන්නේ සමාජානුයෝජනය අඩු කම නිසයි. ඩිජිටල් තාක්ෂණය නිසා අන් අයත් එක්ක කතා බහ කරන්නෙ නෑ. තමන්ගේ ප්‍රශ්නයක් කියන්නෙත් නෑ. එතකොට වෙන්නේ අනුකරණය අඩු වීමයි. එතකොට එයා හිතනවා තියෙන එකම විසඳුම සිය දිවි නසා ගැනීම තමයි කියලා.

l මේ දිනවල සිය දිවි හානි කර ගැනීම් ඉතා බහුලයි. ඊට බලපාන හේතු ඔබ දකින්නේ කෙසේද?

මේ ගැන විද්‍යාත්මක පර්යේෂණ කරලා ඔප්පු කරලත් තියෙනවා. තමන්ගේ අවශ්‍යතා තමන්ට සපුරා ගන්න බැරි වුණාම, තමන් බලාපොරොත්තු වූ දෙයක් තමන්ට ළඟා කර තන්න බැරි වුණාමත්, ඒකෙ ප්‍රතිඵලයක් විදිහට සිය දිවි නසා ගන්නවා. ඇතැම් ළමයින් විභාගයක් ෆේල් වුණාම සිය දිවි නසා ගන්නවා. මේ දවස්වල පවතින සමාජ, ආර්ථික වාතාවරණයත් එක්ක සිය දිවි හානි කර ගැනීමට පෙලඹීම හා සිය දිවි හානි කර ගැනීම් බහුලයි. ඒක තමන්ට විතරක් නෙවෙයි තමන්ගේ දරුවන්ටත් බලපානවා. සමූහ වශයෙන් කණ්ඩායම් වශයෙන් සිය දිවි හානි කර ගැනීම් තියෙනවා. මෙය සමාජ මාධ්‍යත් එක්ක අද වේගයෙන් ව්‍යාප්ත වෙලා. රටේ ආර්ථිකයෙ තියෙන ප්‍රශ්නත් එක්ක ඔඩු දුවපු සමාජ ප්‍රශ්න සිය දිවි නසා ගැනීම්වලට සෘජු දායකත්වයක් වෙලා තියෙනවා.

වැඩිපුරම ශ්‍රී ලංකාවේ සිය දිවි නසා ගැනීම්වලට ප්‍රධාන හේතු සාධකය වන්නේ පවුල් ආරවුල්. ඒ වගේම මිනී මැරුම් වැඩිපුරම සිදු වන්නෙත් පවුල් ආරවුල් හේතුවෙන්. අපි ශ්‍රී ලංකාවේ පළාත් 05ක් පදනම් කරගෙන පර්යේෂණයක් සිදු කළා. එයින් තමයි අපට මේ කාරණාව සොයා ගැනීමට හැකි වුණේ. ඊට අමතරව, දුගී භාවය, දේපළ ප්‍රශ්න, රැකියා විරහිත භාවය, රැකියාව ආශ්‍රිත ප්‍රශ්න, දූෂණයට ලක් වීම, මත්ද්‍රව්‍ය භාවිතය, සැමියාගෙන් සිදු වන හිරිහැර, ආබාධිත පුද්ගලයන් ආශ්‍රිත ප්‍රශ්න, බලපානවා. ඒ වගේම ප්‍රේම සබඳතා බිඳ වැටීමත් සිය දිවි හානි කර ගැනීමට සෘජුවම ප්‍රබල විදිහට බලපාන කාරණාවක්.

l සිය දිවි හානි කර ගැනීමට උත්සාහ දරන අයෙක් වෙතින් පෙන්නුම් කරන ලක්ෂණ මොනවාද?

'' මට එපා වෙලා තියෙන්නේ. මම මැරෙනවා.'' වගේ දේවල් බොහෝ වේලාවට කියවන්න පුළුවන්. ඒ වගේම සිතේ තියෙන දේවල් මොනවාහරි ලියන්න පුළුවන්. කොපි පොත්වල, දින පොත්වල තමන්ගේ ප්‍රශ්නය ලියලා තියෙනවා. කාටවත් කියලා නෑ. නමුත් ලියලා තියෙනවා. ඒ වගේම අමුතු දේවල් කාටහරි කියන්නත් පුළුවන්. මේ වගේ දේවල් සිදුවන විට එයා ගැන වඩා අවධානයෙන් ඉන්න, ළඟ ඉන්න අයට වගකීමක් තියෙනවා. ඒ වගේම ළමයි ගොඩක් වෙලාවට බලන්නේ හුදෙකලාව ඉන්නයි. මේ ආකාරයට චර්යාවේ පැහැදිලි වෙනසක් තියෙනවා නම් වහාම මනෝ වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු විය යුතුයි. ඒ වගේම එයත් එක්ක කතා කරන්න, ගමනක් බිමනක් එක්ක යන්න, වෙනත් වැඩකට යොමු කරවා ගන්න හැකි විය යුතුයි. ළමයින්ගේ පැත්තෙන් බලන විට හේතුවක් නැතිව ළමයින්ට බණින්න, ඇතමුන් කටයුතු කරනවා. සොයන්නෙ නැතුව, බලන්නේ නැතුව ආවා, බැන්නා, ගැහුවා, මේ වගේ දේවල් කළාම දන්නේම නැතුව ළමයි සිය දිවි හානි කර ගන්න පුළුවන්.

l වර්තමානයේ පවුල් පිටින්, දරුවන් සමඟ දිවි හානි කර ගැනීමට උත්සාහ කරන කනගාටුදායක තත්ත්වයක් ඇති වෙලා. මෙය රටේ යහපත් මානසික සෞඛ්‍ය බිඳ වැටීමට පමණක් නොව රටේ සංවර්ධන කාර්යයට එය බලපාන අයුරු පෙන්වා දෙන්න.?

පැහැදිලිවම රටේ සංවර්ධන කාර්යයේදී මෙය සෘජු බලපෑමක් වෙනවා. රටක සිය දිවි හානි කර ගන්නා මිනිසුන් ඉන්නවා කියන්නේ සංවර්ධනයක් සිදු වන්නේ නෑ කියන එකයි. සමාජ, ආර්ථික, දේශපාලනය කියන කාරණා හැම පැත්තෙන්ම සිද්ධ වෙන්න ඕනෙ. සෞඛ්‍ය මේ වෙනකොට බිඳ වැටිලයි තියෙන්නේ. ඒක ඉතා පැහැදිලියි. මානසික සෞඛ්‍ය බිඳ වැටීම කියන්නේ බරපතළ කාරණයක් බවට අද පත් වෙලා. අද වැඩිහිටියන්ට හොඳ මානසික සෞඛ්‍ය මට්ටමක් නැත්තේ රටේ පවතින ආර්ථික රටාව සෘජුවම බලපාන නිසයි. සමහර කාලවලදී මේ රටේ ගොවියෝ තමයි සිය දිවි හානි කර ගත්තේ. ඒ වගේම තව පිරිසක් සිය දිවි හානි කර ගත්තේ මානසික ප්‍රශ්න නිසා නෙවෙයි. 54.3 %ක්ම සිය දිවි නසාගෙන තියෙන්නේ ක්ෂණික තීන්දු තීරණ ගැනීම නිසයි. මෙය මානසික බිඳ වැටීමක්. ඒක මානසික රෝගයක් නෙවෙයි. අනෙක් කාරණය තමයි, සිය දිවි නසා ගැනීම් ප්‍රසිද්ධ මාධ්‍යයේ පළ කරන විට ප්‍රවේශම් විය යුතුයි. මොකද මෙය අනුකරණයට එක් හේතුවක් කර ගන්නවා. මේක බරපතළ කාරණයක්. වැඩි වශයෙන්ම සිය දිවි හානි කර ගැනීම් කර ගන්නේ කාන්තාවන් බව පේනවා. නමුත්, ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ දත්ත අනුව වැඩිපුර සිය දිවි හානි කර ගන්නේ පිරිමි අයයි. මේක සිදු වන්නේ සමාජානුයෝජනයත් එක්කයි. පුරුෂ පාර්ශ්වය ක්ෂණික තීන්දු තීරණ අරන් සිය දිවි හානි කර ගත්තත් ගැහැනු අය එසේ සිදු කර ගන්නේ නෑ. ගැහැනු අයගේ ඉහළ ස්වයං පාලනයක් තියෙනවා. මේ ඉහළ ස්වයං පාලනය නිසා ක්ෂණික තීන්දු ගන්නේ නෑ. එතකොට එයා ලේසියෙන් සිය දිවි හානි කර ගන්නා තත්ත්වයකට එන්නේ නෑ. හැබැයි සිය දිවි හානි කර ගන්නා මට්ටමකට ආවා නම්, එයා බරපතළ විදිහේ මානසික වශයෙන් ගැටලුවකට මුහුණ දුන්නු අවස්ථාවක්. එය ආර්ථික වෙන්න පුළුවන්, නැත්නම් වෙනත් පවුල් ආරවුලක් නිසා වෙන්න පුළුවන්. යනාදී වශයෙන් වූ බරපතළ හේතුවක් විය හැකියි. ශ්‍රී ලංකාවේ ගොඩක් සිය දිවි හානි කර ගන්නා අය අවුරුදු 21-ත් 40ත් අතර. අපේ පර්යේෂණ දත්තවලට අනුව 65%ක්ම සිය දිවි නසා ගෙන ඇත්තේ විවාහක අයයි. වර්තමානයේ දරුවන්ද සමඟින් සිය දිවි හානි කර ගැනීමට පෙලඹීම ඇත්තටම දරුණු ගණයේ ඛේදවාචකයක්. වැඩිහිටියන්ගේ ප්‍රශ්න හමුවේ නිවැරදි අසරණ දරුවොත් ගොදුරු වෙනවා. එය වින්දිතයාත් අපරාධකාරයාත් එයාමයි. මෙහිදී දඬුවම් දෙන්න කෙනෙක් නෑ. ඔක්කොම ඉවරයි. කිසි දෙයක් ඉතිරි වෙලත් නෑ. ඉතිරි කරලත් නෑ.

l සමූහ වශයෙන් සිදු වන සිය දිවි නසා ගැනීම් අද බහුලව අහන්න සිදු වෙලා. මෙයට බලපාන ආසන්නම හේතු සාධකය සහ වරද කොතැනද?

එය පැහැදිලියි. රටක ආර්ථික තත්ත්වය තමයි අපරාධ වැඩි වෙන්න බලපාලා තියෙන්නේ. එතකොට සිය දිවි හානි කර ගැනීම කියන්නෙත් වරදක්. මෙහිදී මෙයා තමයි වරදකරු කියලා ගන්න බෑ. මේක සමස්ත සමාජ ව්‍යුහයේ ප්‍රශ්නයක්. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේක ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා ප්‍රශ්න ඇති කරන සමාජ ව්‍යුහය වෙනස් කළ යුතුයි. මේකෙ තියෙන ප්‍රශ්න විසඳන්න වගකිවයුතු සියලු දෙනාගේ මැදිහත්වීම අවශ්‍යයයි. රටේ ආර්ථිකය හොඳයි නම් අපරාධ අඩුයි. ප්‍රශ්නත් අඩු වෙනවා. අඩු ආදායම්ලාභී පවුල්වල කොතරම් ගැටලු තියෙන්න පුළුවන්ද? ඒ නිසා මෙය සමස්ත සමාජය තුළ කතා බහට ලක් විය යුතු ආර්ථික ප්‍රතිසංස්කරණවලට යා යුතු හදිසි අවස්ථාවක්.

l සිය දිවි නසා ගැනීම් හා ඊට උත්සාහ කරන තත්ත්වයෙන් පුද්ගලයන් මුදවා ගැනීමට නම්, කුමක් කළ යුතු දැයි ඔබ අදහස් කරන්නේද?

ඇත්තටම ශ්‍රී ලංකාවේ බරපතළම කාරණය තියෙන්නේ මානසික සෞඛ්‍ය පිරිහීම කියන කාරණාවයි. මේ රටේ ආර්ථික ප්‍රශ්න නිසා අපට ඒවා කුමන බලපෑම් කළත්, අපේ මානසික සෞඛ්‍ය පිළිබඳ අපේ සැලකිල්ල අඩුයි. මනෝ විද්‍යාව විෂය පාසල් මට්ටමේ පටන් දරුවන්ට ලබා දිය යුතුයි. මානසික සෞඛ්‍ය හොඳ වුණොත් තමයි, ළමයාගේ පාසල් අධ්‍යාපනය වුණත් හොඳින් කරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපේ රටේ වෘත්තීය මට්ටමේ මානසික උපදේශකවරුන්ගේ හිඟයක් තියෙනවා. අපේ මානසික සෞඛ්‍ය නඟා සිටුවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙන්න පුළුවන්, වෙනත් ආයතන වෙන්න පුළුවන්, රාජ්‍ය නොවන සංවිධාන වෙන්න පුළුවන් මේ සම්බන්ධව උනන්දු වෙනවා නම් උපදේශකත්ව පැත්තෙනුත් විසඳුමක් දෙන්න පුළුවන්. මිනිස්සුන්ට මානසිකව කෙනෙක් කතා කළත් ඇති සමහර ප්‍රශ්නවලට. ඒ කතා කරන දෙයින් ඒ මිනිස්සු සැනසීමක් ලබනවා.

l මානසික ව්‍යාකූලත්වයකින් පසුවන අය වෙනුවෙන් උපකාර කළ හැකි ආයතන හෝ වෙනත් සංවිධාන හෝ තිබේද?

තියෙනවා. මානසික වෛද්‍ය විද්‍යා ආයතන මෙයට උදව් උපකාර කරනවා. අංගොඩ මානසික විද්‍යා ආයතනය ඉන් ප්‍රධානයි.

සුමිත්‍රයෝ කියන රාජ්‍ය නොවන සංවිධානය තියෙනවා. ඔවුන් සිය දිවි නසා ගැනීම් සහ මත්ද්‍රව්‍ය ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන ආයතනයක්. ඒ වගේම සෑම රෝහලකම පාහේ මනෝ චිකිත්සකවරු ඉන්නවා. ඔවුන්ගෙනුත් අදාළ උපදෙස් ලබා ගත හැකියි.

ශ්‍යාමා සමරසිංහ

නව අදහස දක්වන්න