දුම්කොළ 4ක් කුඩු පැකට් 2ක් යට ඇඳුමේ ගහගෙන උසාවි ඇවිත් | දිනමිණ

දුම්කොළ 4ක් කුඩු පැකට් 2ක් යට ඇඳුමේ ගහගෙන උසාවි ඇවිත්

දුම්කොළ හතරක් සහ අයිස් මත්ද්‍රව්‍ය පැකට් දෙකක් යට ඇඳුමේ සඟවාගෙන පානදුර මහේස්ත්‍රාත් අධිකරණ භූමියට පැමිණි පුද්ගලයකු පසුගිය 8 වැනිදා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පානදුර, මෝදර ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. බන්ධනාගාරගත රැඳවියන් භාරව අධිකරණයට පැමිණ සිටි බන්ධනාගාර නිලධාරියෙකුට සැක සිතී අධිකරණ සැරයන් ජයරත්න මහතා සමඟ එක්ව කළ පරීක්ෂාවේදී කළු පැහැති පොලිතින් උරයක බහා තිබූ අඟල් 18ක් පමණ දිගැති දුම්කොළ කැබලි 4ක් සහ ඒ තුළ සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය අඩංගු කුඩා පැකට් දෙකක් සොයාගත් බව පොලිසිය පවසයි. මේවා බන්ධනාගාරයේ සිට අධිකරණ භූමියට කැටුව එන රැඳවියෙකුට ලබාදීමට රැගෙන එන්නට ඇති බවට සැක කරන බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

පොතුපිටිය - සුමිත් ප්‍රේමතිලක

නව අදහස දක්වන්න