බැංකු හරහා ඩොලර් එවූ අයට විදුලි කාර් රටට ඇවිත් | දිනමිණ

බැංකු හරහා ඩොලර් එවූ අයට විදුලි කාර් රටට ඇවිත්

මෙරටට විදේශ මුදල් එවූ ශ්‍රමිකයන්ට තීරු බදු සහනයක් සහිතව විදුලි වාහන ආනයනය ඊයේ (9) සිට ආරම්භ විය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී කම්කරු සහ විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා මෙසේ පැවසීය:

“විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ නීත්‍යනුකූලව බැංකු ක්‍රමය ඔස්සේ මෙරටට ගෙන ඒම දිරිමත් කිරීම සඳහා, ඔවුන් එවන විදේශ විනිමය ප්‍රමාණය මත පදනම්ව ඉලෙක්ට්‍රික් වාහන ආනයනය සඳහා අවසර දෙන කැබිනට් පත්‍රිකාවක් අප ඉදිරිපත් කළා. ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු වාහන ආනයනය සඳහා අවසර දෙනු ලැබුවා. තමන් රටට එවන මුදල් ප්‍රමාණයෙන් අඩකට සමාන සී.එෆ්.අයි. වටිනාකමක් සහිත වාහන ආනයනය කිරීමට තමයි මේ ආකාරයට අවසර දෙනු ලැබුවේ.”

 ඒ වගේම ඉලෙක්ට්‍රික් වාහන ආනයනයේදී රජයට ගෙවිය යුතු බදු මුදල්ද විදේශ ව්‍යවහාර මුදල්වලින් ගෙවිය යුතු වුණා. ඒ අනුව රටට සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් ලබගැනීම අපේ ඉලක්කය වුණා. ඒ ඉලක්කය සාර්ථක කරගැනීමට අපට හැකියාව ලැබුණා.

“නීත්‍යනුකූල ක්‍රම ඔස්සේ විදෙස්ගත ශ්‍රමිකයන්ට දුන් විවිධ වරප්‍රසාද අතුරින්, මේ වරප්‍රසාදයට හිමිකම් කියන විදේශ ශ්‍රමිකයන්ගේ වාහන මේ වන විට රේගුව මඟින් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. විදේශ ශ්‍රමිකයන් මේ අවස්ථාව ඉතා හොඳින් භාරගත්තා. ඔවුන්ගෙන් අපට බොහෝ සුභවාදි ප්‍රතිචාර හිමිව තිබෙනවා.

“මේ ආකාරයට නීත්‍යනුකූල ක්‍රම ඔස්සේ විදේශ ශ්‍රමිකයන් මුදල් එවීම මේ වන විට ඉහළ යමින් තිබෙනවා. පසුගිය වසරේ මුල් කාර්තුව අවසන් වන විට මසකට විදේශ ප්‍රේෂණ ලැබුණේ ඩොලර් මිලියන දෙසීය විසි පහක් විතර. ඒත් අවුරුද්දේ අවසන් මාසය වන විට විදේශ ප්‍රේෂණ ඩොලර් මිලියන 475 දක්වා වර්ධනය කරගැනීමට අපට හැකියාව ලැබුණා. එසේ විදේශ ප්‍රේශන ඉහළ දමාගැනීමට හැකියාව ලැබුණේ මේ ආකාරයට විදේශ ශ්‍රමිකයන් මුදල් එවූ නිසයි.

සෑම විටම නීත්‍යනුකූල ක්‍රම ඔස්සේ විදේශ ශ්‍රමිකයන්ට ශ්‍රී ලංකාවට මුදල් එවන ලෙස අප නැවත නැවත ඉල්ලා සිටිනවා. ඒ වගේම නීත්‍යනුකූල මාර්ග ඔස්සේ මුදල් එවන ශ්‍රමිකයන්ට වාහන ආයනයන බලපත්‍ර දුන්නා වගේම තවත් බොහෝ වරප්‍රසාද දීමට අප කටයුතු කරමින් සිටිනවා.“

නව අදහස දක්වන්න