වවුනියාවේ දරු පවුලට වස දීමේ සිද්ධිය‍ සිරුරු 3ක විස අන්තර්ගතයි එකක් හුස්ම සිරවීමෙන් වූ මරණයක් අධිකරණ වෛද්‍ය නිලධාරියා කියයි | දිනමිණ

වවුනියාවේ දරු පවුලට වස දීමේ සිද්ධිය‍ සිරුරු 3ක විස අන්තර්ගතයි එකක් හුස්ම සිරවීමෙන් වූ මරණයක් අධිකරණ වෛද්‍ය නිලධාරියා කියයි

 

වවුනියාව ගුඩ්ෂෙඩ් පාරේ නිවෙසක තිබී හමු වූ මළ සිරුරු හතරෙන් තුනක කිසියම් විස වර්ගයක් මඳ වශයෙන් ශරීරගත වී තිබූ බවත්, අනෙක් මළ සිරුර හුස්ම සිරවීමෙන් සිදු වූ මරණයක් බවත් වවුනියාව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පසුගියදා (08) නිගමනය කර තිබේ.

ශරීරගත වී ඇති විස වර්ගය නිගමනය කිරීම සඳහා මියගිය හතර දෙනාගෙන් තිදෙනකුගේ ශරීර අභ්‍යන්තර කොටස් හා මූත්‍රා සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා තිබේ.

වවුනියාව ගුඩ්ෂෙඩ් පාරේ පිහිටි බගවාන් අම්මා පටුමගේ නිවෙසක තිබී මෙම මළ සිරුරු හතර පසුගියදා (07) උදෑසන සොයා ගැනිණි. එහිදී අනාවරණය වූයේ පවුලේ ගෘහමූලිකයා සිය බිරියට හා කුඩා දියණියන් දෙදෙනාට වස පොවා පසුව ඔහු නිවෙසේ බාල්කයක එල්ලී මියගිය බවයි. ඇසින් දුටු සාක්ෂි කිසිවක් නොමැති බැවින් අසල්වාසීන් විසින් පොලිසියට සපයන ලද තොරතුරුවලට අනුව ගෘහමූලිකයා හා බිරිය අධික ණය මුදලක් ගෙන සිටියදී එම ණය මුදල් ගෙවීමට නොහැකිව මෙම ඛේදවාචකයට මුහුණ දී ඇති බව නිගමනය කර තිබිණි. පවුලේ ගෘහමූලිකයා වූ ශිවපාදසුන්දරම් කෞසිගන් (42) නමැත්තා මේ සම්බන්ධයෙන් ඔහුගේ හිතවතුන් කිහිප දෙනකුටම පවසා තිබූ අතර, ණය ගෙවීම සඳහා පවුලේ තිබූ රත්රන් බඩුත්, බිරියගේ මවගෙන් ලබා ගත් රත්රන් පවුම් 39ක රන් භාණ්ඩත් විකුණා ඇතත් ඒ මුදල් ප්‍රමාණය ද ඔවුන්ගේ ණය මුදල් ගෙවීමට ප්‍රමාණවත් නොවූ බවට තොරතුරු හෙළි වී තිබේ. බිරියගේ මව එම රත්රන් යළි ඉල්ලා සිටීම පවුලේ සාමාජිකයන් මෙම තීරණය ගැනීමට බලපෑ ආසන්නම හේතුව බවට පොලිසිය සැක කරයි. ඊට හේතුව වන්නේ ඔවුන්ගේ මළ සිරුරු හමු වූ දින උදෑසන රන් භාණ්ඩ යළි දීම සඳහා නිවෙසට පැමිණෙන ලෙසට ගෘහමූලිකය‍‍ා බිරියගේ මවට පණිවුඩයක් යවා තිබීමයි.

කෙසේ වෙතත් පශ්චාත් මරණ පරීක්ෂණයට පෙර මියගිය බිරියගේ ගෙල අසල තුවාලයක් වැනි කැළලක් තිබූ නිසා ඇයව මරා දමන්නට ඇත්තේ ගෙල සිර කිරීමෙන් බවට සැකයක් පැවතියත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ එම කැළල කූඹින් විසින් මළ සිරුර කා දැමීම නිසා හටගත් කැළලක් බවයි. ඉදිරිපත් වූ සාක්ෂිවලට අනුවත්, මහේස්ත්‍රාත්වරයාගේ ස්ථානීය මරණ පරීක්ෂණයට හා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ නිගමනය මතත් ගෘහමූලිකයාට මිනිස් ඝාතන තුනක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර, ඔහුගේ මරණය සියදිවි හානි කර ගැනීමක් ලෙස පොලිසිය වාර්තා කොට තිබේ. මියගිය පිරිස ශිවපාදසුන්දරම් කෞසිකන් (42), කෞෂිකන් වරදරාජිණී (36), කෞෂිකන් මෛත්‍රී (9) හා කෞෂිකන් කේෂරා (3) වශයෙන් හඳුනා ගැනිණි. රජයේ රස පරීක්ෂක වාර්තාව ලැබෙන තෙක් වවුනියාව පොලිසියේ අපරාධ විමර්ශන අංශය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

 

උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

නව අදහස දක්වන්න