අවුරුදු එක හමාරේ දියණියට හිංසා කරන ඡායාරූප ඩුබායි සිටින මවට යැවූ පියා අල්ලයි | දිනමිණ

අවුරුදු එක හමාරේ දියණියට හිංසා කරන ඡායාරූප ඩුබායි සිටින මවට යැවූ පියා අල්ලයි

දියණිය වෛද්‍ය පරීක්ෂණයකට පොලොන්නරුව මහ රෝහලට

සැකකරු වරින් වර දැරියට හිංසා කර  ඡායාරූප යවා මුදල් එවන්න කියලා

අවු: 45ට අඩු කතුන් රට යනවා නම් දරුවන්ගේ රැකවරණය ගැන වාර්තාවක් අනිවාර්යයි

විදේශ සේවා නියුක්ති කාර්යාංශය

 

 

තම වයස අවුරුදු එක හමාරක් වන සිඟිති දියණියට හිංසා පීඩා කරමින් ඒ අවස්ථා ඡායාරූප ගතකර ඩුබායි හි සේවය කරන දැරියගේ මවට යැවූ පියකු බකමූණ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු ඊයේ (10) හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී. කුඩා දියණිය වෛද්‍ය පරික්ෂණයක් සඳහා පොළොන්නරුව මහ රෝහල වෙත යොමු කර තිබේ.

බකමූණ, අකරගල්යාය ප්‍රදේශයේ පදිංචි විවාහක දෙදරු පියකු වන සැකකරු, වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි තවත් විවාහක දෙදරු මවක් සමඟ අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර එම සම්බන්ධයෙන් මේ සිඟිති දියණිය උපත ලබා ඇත. දැරියගේ මව පැවති ආර්ථික අපහසුතා හේතුවෙන් දැරියට වයස අවුරුද්දක් ගත වන විට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීමකින් තොරව නීතිවිරෝධී අයුරින් රැකියාව සඳහා ඩුබායි රාජ්‍යය වෙත ගොස් තිබේ.

සැකකරු විසින් වරින් වර කුඩා දැරියට හිංසා කරමින් ඡායාරූප මේ කාන්තාවට යවා ඇති අතර, මුදල් නොඑවන්නේ නම් දිගින් දිගටම දැරියට කරදර කරන බවට තර්ජනය කර තිබේ.මේ හේතුවෙන් දැරියගේ ජීවිතයට හානිවේයැයි සිතා ඇය විසින් මේ පිළිබඳව තම මවට දැනුම් දී, පොලිසියට පැමිණිලි කරන ලෙස දන්වා ඇත.

ඒ අනුව දැරියගේ මිත්තණිය මේ සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලිසියට පැමිණිලි කර ඇති අතර, වේයන්ගොඩ පොලිස් ස්ථානය විසින් මේ පිළිබඳව බකමුණ පොලිස් ස්ථානය දැනුම්වත් කර තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ බකමූණ පොලිස් ස්ථානයේ නිලධාරීන් පෙරේදා (09) රාත්‍රි 11.30ට පමණ සැකකරුගේ නිවෙස වටලා ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ වන විටත් ඔහු ප්‍රදේශයෙන් පලායාමට සූදානම්ව සිට ඇත.

මේ අත්අඩංගුවට ගැනීම සඳහා බකමූණ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.ඩබ්ලිව්.උපුල් බොලුකඳුර, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බී.එස්.එම්. සෙනෙවිරත්න, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා උප පොලිස් පරීක්ෂක ශෂිකලා, පොලිස් සැරයන් චන්දන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

රැකියාවක් සඳහා වයස අවුරුදු 45ට අඩු කාන්තාවක් විදේශ ගතවන්නේ නම් තම දරුවන්ගේ රැකවරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් වාර්තාවක් අනිවාර්යයෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත ඉදිරිපත් කළ යුතුය. වයස අවුරුදු දෙකට අඩු දරුවන් සිටින මව්වරුන්ට රැකියා සඳහා විදේශ ගතවීමට කිසිසේත්ම අවසර ලබානොදෙන අතර, ඊට ඉහළ වයස් කාණ්ඩවල දරුවන්ගේ භාරකාරීත්වය, අධ්‍යාපනය හා රැකවරණය වැඩපිළිවෙළ පිළිබඳ වාර්තාව දිය යුතුවේ.

එසේ නැතිව වංචාකාරී අයුරින් මව්වරුන් විදේශ රැකියා සඳහා යොමුවීම හේතුවෙන් මෙවැනි සිදුවීම් වාර්තා වන අතර, දරුවන්ගේ රැකවරණය පිළිබඳව මූලිකවම අවධානය යොමු කරමින් නීත්‍යානුකූල අයුරින් විදේශ ගතවන ලෙස ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

අනුර ප්‍රේමලාල්

නව අදහස දක්වන්න