රාගම ෙවෙද්‍ය මහාචාර්යවරයාගේ නිවෙසේ බඩු සොරා ගත් දෙදෙනා අත්අඩංගුවට | දිනමිණ

රාගම ෙවෙද්‍ය මහාචාර්යවරයාගේ නිවෙසේ බඩු සොරා ගත් දෙදෙනා අත්අඩංගුවට

රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එන්. කේ. ගුණවර්ධන මහතාගේ ගලහා ගුරුකුලේ නිල්ලඹ පිහිටි නිවෙස බිඳ රෙදි සෝදන යන්ත්‍රයක් ඇතුළු මුළුතැන්ගෙයි තිබූ උපකරණ සොරා ගැනීමක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් ගලහා පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ සොරකම සිදුව ඇත්තේ පසුගිය ජනවාරි මස 27 වැනිදාත් මේ මස 10 වැනිදාත් අතර කාලයේ බව මහාචාර්යවරයා විසින් කළ පැමිණිල්ලෙහි සඳහන්ව ඇතැයි පොලිසිය කියයි. මේ කාලයේ මහාචාර්යවරයා හෝ පවුලේ කිසිවෙක් නිවෙසේ රැඳී සිට නැත. නිවෙසේ ජනේලයක් බිඳ ඇතුළුවී මේ සොරකම සිදු කර ඇති අයුරු මහාචාර්යවරයා දැක ඇත්තේ පසුගිය 10 වැනිදා උදෑසන නිවෙසට පැමිණි අවස්ථාවේදීය. මේ ගැන මහාචාර්යවරයා පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව විමර්ශන පවත්වා සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත්තේ පැමිණිල්ල ලැබී පැය කිහිපයක් යන්නට මත්තෙනි. ඒ සොරා ගත් භාණ්ඩවලින් කොටසක් ද සොයා ගනිමිනි.

නිල්ලඹ ජනපදයේ පදිංචිකරුවන් වන ඒ. එස්. ආර්. බණ්ඩාර (30), එන්. එස්. ගුණවර්ධන (47) යන සැකකරුවන් දෙදෙනා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. ඒ අයගෙන් එක් අයෙක් හෝටල් සේවකයෙක් බවත්, අනෙක් සැකකරු කම්කරුවෙක් බවත් පොලිසිය කියයි. සොරා ගත් භාණ්ඩවලින් කොටසක් හමුවී ඇත්තේ එක් සැකකරුවකුගේ නිවෙසේ තිබියදීය. සෙසු භාණ්ඩ ද සොයා විමර්ශන පැවැත්වෙන බව ගලහා පොලිසිය කියයි.

ගයාන් කුමාර වීරසිංහ

නව අදහස දක්වන්න