ලිහිල් බදු ප්‍රතිපත්තියෙන් වසා දැමූ බදු ලිපි ගොනු ලක්ෂ 12 සක්‍රිය කරන්න | දිනමිණ

ලිහිල් බදු ප්‍රතිපත්තියෙන් වසා දැමූ බදු ලිපි ගොනු ලක්ෂ 12 සක්‍රිය කරන්න

  • වෘත්තිකයන්ගේ බදු බර අඩු කළ හැකියි
  • කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිහාල් හෙන්නායක

ලක්ෂ 16ක්ව පැවැති බදු ලිපි ගොනු ප්‍රමාණය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ පත් වූ රජය හඳුන්වා දුන් බදු ලිහිල් කිරීමේ ප්‍රතිපත්තිය හේතුවෙන් ලක්ෂ 4ක් දක්වා අඩු වූ බවත් බදු දැල තුළට අලුතින් පිරිස් හසු කර ගන්නවාට වඩා මේ බදු ලිපි ගොනු ලක්ෂ 12 සක්‍රිය කිරීම පහසු බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ මූල්‍ය පීඨයේ ව්‍යාපාරික ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නිහාල් හෙන්නායක මහතා පැවසීය.

මේ බදු ලිපි ගොනු ලක්ෂ 12 නැවත සක්‍රිය කිරීමෙන් රජයටත් වෘත්තිකයන්ටත් ජයග්‍රාහී ස්ථානයකට පැමිණිය හැකි බවත් හෙතෙම කීවේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කීවේය.

බදු ලිපි ගොනු ප්‍රමාණය ලක්ෂ 4ක් දක්වා පහළ බැසීම නිසා අහිමි වී ගිය සියලු බදු බර දැන් දරන්නට වී ඇත්තේ ඉතිරී වී සිටින ලක්ෂ හතරක් වන වෘත්තිකයන් පිරිසට බවත් හෙතෙම පැවසුවේය.

මේ ලිහිල් බදු ප්‍රතිපත්තිය නිසා අහිමි වී ගිය ලකෂ 12ක බදු ලිපි ගොනු නැවත සක්‍රීය මට්ටමට ගෙන නොඑන්නේ ඇයි දැයි පෞද්ගලිකව තමන්ට ද ගැටලුවක් බව ද හෙතෙම කීවේය.

වෘත්තිකයන්ගේ පැත්තෙන් ගත්තොත් මේ බදු බර දරන්න අමාරුයි. ඒ නිසා වෘත්තිකයන්ගේ පැත්තෙනුත් රජය පැත්තෙනුත් වෙන්න ඕන යුතුකම් ටිකක් තිබෙනවා. මේ අඩු වූ ලිපිගොනු නැවත සක්‍රීය කිරීම මඟින් බදු වැඩි කර ගැනීමට රජයට හැකියාව ලැබෙනවා වගේම වෘත්තිකයන්ටත් දැනෙන බදු බරේ අඩුවක් වෙනවා. ඒ අනුව ජයග්‍රාහී ස්ථානයකට අපිට එන්න පුළුවන් වෙනවා. අපි හැමෝම ගිය වසරේ අප්‍රියෙල් මාසයේ දුක් වින්දා, මේ වන විට ඒ තත්ත්වය බොහෝ දුරට සමනය වෙලා. මේ අත් කර ගත් ස්ථාවරත්වය සාධනීය ලෙස තවදුරටත් වර්ධනය කර ගැනීමට නම් රජය සහ ජනතාව යන දෙපැත්තම යම් යම් විඳ දරා ගැනීම් කරන්නට අවශ්‍යයි. එසේ නැත්නම් මේ භයංකාර ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට තිබෙන ඉඩ ප්‍රස්තා සීමා වෙනවා වගේම ගොඩ එන්නට ගත වන කාලය දීර්ඝ වෙන එක අපිට වළක්වන්නට බැහැ. ඒ නිසා සමාජ හා දේශපාලනික වශයෙන් ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට මේ දෙපාර්ශ්වයම වග බලා ගත යුතුයි.

මේ බදු ප්‍රතිපත්තියට නැඟෙන වර්ජන තුළ සිටින්නන්ට ඇත්ත වශයෙන්ම බදු ගෙවන පිරිසක් සහ බදු නොගෙවන පිරිසක්. මේ පාර්ශ්ව දෙකම කිසියම් ආකාරයකට සතුටු කරන තත්ත්වයක් ඇති කළ යුතු වෙනවා. යැයිද හෙතෙම මෙහිදී වැඩිදුරටත් කීවේය.

අනුර ප්‍රේමලාල් සහ උපාලි කරුණාරත්න

නව අදහස දක්වන්න