එක කාලයක් ගෙදරක ඉදෙන සාරම බත වූයේ කහ බතය. දුන් තෙල් ආදිය එක් කරගෙන කහබත් පිසීම සිදු වනුයේ විශේෂ අවස්ථාවක් පැමිණි විටය. ඒ සමඟ බොහෝ විට කුකුළු මස් ව්‍යංජනයක් ද සකසනු ලැබේ. නවසිය අසූ, අනූ ගණන්වලදී සාමාන්‍ය ලාංකික පවුලක් කුකුළු මස් සමඟ කහ බත් කෑවේ වසරකට දෙතුන් වරක් පමණි. එක්කෝ සිංහල අවුරුද්දට, මඟුල් තුලා ආදිය කතිකා කර ගැනීම සඳහා දෙපැත්තේ නෑයෝ මුණගැසෙන දිනය ආදී වැදගත් දින හැරුණු විට කහ බත සාලයේ මේසයට ඒ කාලයේ පැමිණියේ නැත.
වසර දහයක් පමණ යන විට රෑ කඩ සංස්කෘතියක් නාගරිකව ඇති වන්නට විය. ඒ සමඟ ෆ්‍රයිඩ් රයිස් නම් අලුත් බතක් පිඟානට පැමිණියේය. හරි හරියට කුකුළු පළුවක් සමඟ පැමිණි ෆ්‍රයිඩ් රයිස් වේලක් මාසයකට දෙතුන් වතාවක් රාත්‍රියේ හෝ දවාලයේ ආහාරය සඳහා පැමිණි අතර, ඉහළ මට්ටමක වැටුපක් ලබන බෝඩින්කාරයෝ දිනපතාම පාහේ ෆ්‍රයිඩ් රයිස් රස බැලූහ. ටික කලක් යද්දී රයිස් එකක් කියා ඉල්ලූ විට කඩෙන් ලැෙබන්නේ, ලොකු තාච්චියක, හොඳට බැදෙන ලීක්ස්, ලූනු කොළ, ඉරා දමන ලද චිකන් කෑලි සහ යහමින් කුකුළු භාගයක් සමඟ රයිස් එකකි.
තව වසර දෙකක් පමණ යන විට රටේ භාගයකට පමණ කොලෙස්ටරෝල් ද තව කාලකට පමණ බයිපාස් ද කළ යුතු තත්ත්වයක්, මේ රයිස් එක නිර්මාණය කර දුන්නේය. ඒ සමඟ තෙල් කෑම වර්ජනයක් සමාජයෙන්ම පැමිණියේය. දැන් ට්‍රෙන්ඩ් එක වී ඇත්තේ කැකුළු සහල් සමඟ එළවළු එකක් දෙකක් සමඟ ගෙදරින් ගෙන එන බතය. එදා කඩෙන් රයිස් කන එකා පොර වෙද්දී, අද ගෙදරින් කැකුළු සහලේ බත සමඟ එළවළු ටිකක් තම්බාගෙන එන එකා පොරය. ඊයේ දිනයේ වැඩ වර්ජනය ද එසේය.
1901 වසර වන විට අගනුවර ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය වී තිබුණේ ගොන් කරත්තය. එම වසරේ 7000ක් පමණ වූ ගොන් කරත්ත සංඛ්‍යාව වසර නවයක් තුළ 23000 දක්වා ඉහළ නඟින තරමට, කරත්තයේ නැඟ යෑම නැඟලා ගොස් තිබුණි. 1922 වසරේ කොළඹට පැමිණි ඇල්බර්ට් අයින්ස්ටයින් සිය භාර්යාව එල්සා සමඟ මේ කරත්තයකට නැග්ගේය. මේ මතකය ඔහු සිය දිනපොතේ ද සටහන් කළේය.
ට්‍රෑම් කාර් ධාවනය අගනගරයේ ආරම්භ වීමත් සමඟ මෝටර් රථ ද කොළඹ පාරට ‘බැස්සේය’. විධිමත් ගමනාගමනය සඳහා කොළඹ නගර සභාව විසින් කරත්තකරුවන්ට අලුත් නීතියක් පනවන ලදි. කරත්තයක් දක්කාගෙන යන අවස්ථාවේ බෝන් ලීයේ හෝ කරත්තය උඩ වාඩි වී යාම මෙම නීති අනුව තහනම් විය. 1906 අගෝස්තු මස දහතුන් වැනි දා මහා වැඩවර්ජනයක් ලෙසින් කරත්ත සටන ඇති වන්නේ, එම නීතියට එරෙහිවය. වරායේ භාණ්ඩ ප්‍රවාහනය, අගනුවර සිට ගමට බඩු ගෙන යෑම ආදිය සපුරා, අඩපණ වූ කරත්ත සටන, සටහන් වන්නේ, ලක්දිව ප්‍රථම වැඩවර්ජනය ලෙසය. එදා සිට වර්ජන රැල්ල හමා ඇවිත්, අසූවේ ජූලි සටන ආදී ලෙස තිබූ එහි අභිමානය, දැන් පත්ව ඇත්තේ, කහබතේ සිට ෆ්‍රයිඩ් රයිස් දක්වා විකාශනයේදී වූ දේය.
අද වර්ජන යනු හැම විටම ගසන ආසියෙකි. මේ පැක් එකේ කොළ පනස් දෙකම ආසියා නිසා, සෙල්ලමක් ඇත්තේ නැත. වැරදි පැක් එකක් අතට ගෙන සිදු කරනා මේ සෙල්ලම පළමුව බාල්දු කර ඇත්තේ, වර්ජන ව්‍යපාරය ය. ඕනෑම දෙයකට යන්නේ, අවසානයේ සිදු කළ යුතු මහා වර්ජනය වෙතය. ඒ නිසා ජනතාවට ද ඒවා ගාණක් නැත. දවසේ දෙකේ මේ සෙල්ලම, මාසයකට දෙතුන් වතාවක් සිද්ධ වන නිසා, පාලකයාට ද ඒවා ගාණක් නැත. කරන එකා ද හති හලාගෙන, එදා උදේට වර්ජනයේ රඟා, පසුදා උදේට කිසිවක් නොවුණා සේ වැඩට යන්නේය. කරත්ත වර්ජනය සිදු කරන්නේ අඩු ඉගෙනුමක් සහිත. සපුරා ශ්‍රමයම වගුරු වන ජනතාවය. අද වර්ජන සිදු කරන්නේ, චැනල් සිදු කරමින් කොහොමටත් බදු සඟවා ගෙන, සියල්ල සාක්කුවේ දමා ගන්නා වෛද්‍යවරුය. ඒ ඇතුළු ඉහළ මධ්‍යම පන්තිය, බදු හමුවේ තමන් ලැබූ පීඩනය, සමස්ත රටෙන්ම ඇල්ලීම සඳහා දරන උත්සාහයක් ලෙස මෙම පිළිවෙත හැඳින්විය හැකිය.
ගෑස් නොමැතිව, තෙගුණයක් මිලට, ත්‍රිරෝද මාෆියාව මාර්ගයෙන් මාසයක් පමණ ගෙවුණු පසු, ගෑස් ගත් කාලයක් රටේ තිබුණේ, අසූව දශකයේ නොවේ. දැනට වසරකටත් අඩු කාලයකට පෙරය. පොඩි දරමිටි ද සුපර් මාකර්ට් ආවේ, සුපිරි තට්ටු නිවාසහිදී, කිරි උතුරවන ස්වරූපයෙන් සාලය මැද්දේ බත, මාළු පිනි ඉදවමිනි. තෙල් පෝලිම් ඒ කාලයේ තිබූ එකම විනෝදය විය. ගෙදර ගියොත් කරන්ට් නැත. පාරේ යන්නට තෙල් නැත. කන්න උයන්නට ගෑස් නැත. ඒ අතරේ බස් සහ පොදු ප්‍රවාහනය ද තිබුණේ නැත. ගිනි අව්වේ, තෙල් පෝලිමේ වේළෙමින්, ජීවිතය අහවර කර ගත් හත් අට දෙනෙකු ද විය. කරන්ට් කපන ලද්දේ පැය හය, දහය ආදී තරමටය. මහල් නිවාසහි ජනතාව, මතු මහලෙන් බිමට පනින තරමට ප්‍රශ්නය උග්‍ර වී තිබුණි.
මේ ගාණට ගෙනාවේ ඒ ගාණට තිබුණු රටක්ය. දැන් ඒ සඳහා පිළිසරණ, පනවාගත් කොන්දේසි හමුවේ මූල්‍ය අරමුදල වෙත යෑම පමණය. ඒ සැණින් වැඩවර්ජන නම් අජීර්ණය හැදෙන ‘රයිස්’දැන් ජනතාවට අප්පිරිය ය. අවශ්‍යම නම් ඉඳ හිට කහබත් කෑ හැකිය.
නව අදහස දක්වන්න