වර්ජකයන්ගේ ඉලක්කය මූල්‍ය අරමුදලේ ණය සහන ගිවිසුම කඩාකප්පල් කිරීමයි | දිනමිණ

වර්ජකයන්ගේ ඉලක්කය මූල්‍ය අරමුදලේ ණය සහන ගිවිසුම කඩාකප්පල් කිරීමයි

ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදීමට නියමිත විස්තීරණ ණය පහසුකම සම්බන්ධයෙන් එහි නිලධාරි මට්ටමේ ගිවිසුම මෙම 20 අත්සන් කිරීමට තිබියදී හෙට (15) දින අඛණ්ඩ වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කරන්නේ මෙම සහන ගිවිසුම අත්සන් කිරීම කඩාකප්පල් කිරීමට බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්, සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

මෙම වර්ජනය කල් දැමීමට නොහැකි හේතුවක්, ප්‍රශ්නයක් වෘත්තීය සමිතිවලට නොමැති බවද කී රත්නප්‍රිය මහතා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට බහුතර වෘත්තීය සමිති සහභාගි නොවන බවද ප්‍රකාශ කළේය. මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන අය තමන් ගැන, තම බඩ ගැන නොසිතා රට ගැන සිතන මෙන්ද ඔහු අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය. රටේ පවතින ආර්ථික ගැටලුව විසඳීමට ජනාධිපතිවරයා ගන්නා උත්සාහයට ඉඩ දිය යුතු යැයිද රත්නප්‍රිය මහතා කීය. මේ වේලාවේ අංක එක වනුයේ ඡන්දය නොව ආර්ථික අර්බුදය විසඳා ගැනීම බවද හෙතෙම පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (13) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමන් රත්නප්‍රිය මහතා -

මේ මොහොත වන විට වෘත්තීය සමිති ගණනාවක් වැඩවර්ජනයක් ප්‍රකාශයට පත් කරමින් තිබෙනවා. සමහර වෘත්තීය සමිති පළාත් වශයෙන් වැඩ වර්ජන ආරම්භ කරමින් තිබෙන අතර, ඔවුන් හෙට (15) දිනය වන විට මෙම වර්ජනය තීව්‍ර අවස්ථාවකට රැගෙන යන බව ප්‍රකාශ කර තිබෙනවා. නමුත් සමස්තයක් වෘත්තීය සමිති සහ වැඩ කරන පන්තිය මෙම දේශපාලන ක්‍රියා මාර්ගයට සම්බන්ධ නොවන බව පෙනෙන්න තිබෙනවා.

අපේ රට ආර්ථික වශයෙන් බංකොලොත් වූ රටක්. මේ රටේ ජනතාවට බරපතළ ප්‍රශ්න ගණනාවක් පවතිනවා. ඔවුන්ට තමන්ගෙ මාසික වැටුපෙන් ජීවත් වීම ප්‍රශ්නයක් වෙලා. ඒ නිසා ජනතාව සහන ඉල්ලනවා. පවතින ආර්ථික ගැටලුව නිසා දුප්පතුන් අන්ත දුප්පතුන් බවට පත් වෙලා තිබෙනවා. ලෝක බැංකුව කියන ආකාරයට අපේ රටේ පවතින තත්ත්වය යටතේ ලක්ෂ පහකට පමණ රැකියා අහිමි වී තිබෙනවා. මොවුන් ජීවත් වන්නෙ කොහොමද කියන ප්‍රශ්නය ඇති වෙලා. මේ නිසා ආණ්ඩුව එසේ අමාරුකම් තිබෙන කොටසට මාසයකට නොමිලේ හාල් කිලෝග්‍රෑම් 10 ගානෙ දීමට තීන්දු කළා. එය ලක්ෂ විස්සකට දීමට තීරණය කළත් මේ වන විට ලක්ෂ 28ක් වෙලා. ඒ කියන්නෙ නිවැරදි සංඛ්‍යා ලේඛන අනුව මේ රටේ දුප්පතුන්ගෙ සංඛ්‍යාව වැඩි වෙනවා.

මෙවැනි තත්ත්වයක පවතින රටක අප කොහොමද හැසිරෙන්නෙ කියන කාරණය පිළිබඳව අප කල්පනා කරන්න ඕනෙ. අප හැමෝම එකතු වෙලා මේ රටේ අන්ත දුප්පත් කණ්ඩායම් ගොඩගන්න එක, ඔවුන්ට කෑමට යමක් ලබාදෙන එක අප සැමගේ යුතුකමක්. ඒ නිසා යුද්ධයේදී පටි තද කර ගත්තා වගේ මේ බදු පිළිබඳව, විදුලි බිල පිළිබඳව, අතවශ්‍ය ආහාර මිල වැඩි වීම පිළිබඳව ප්‍රශ්න යම් ප්‍රමාණයකට අපට දරා ගන්න වෙනවා. වෙන විකල්පයක් නැහැ.

අපේ රටේ මුදල් අප විසින් කළමනාකරණය කර ගන්න ඕනෙ. අප එම තත්ත්වයට පැමිණිය හොත්, අප දෙපයින් නැඟිටින්න උත්සාහ කරනවා කියා ජාත්‍යන්තරය විශ්වාස කළොත් ඔවුන් උදවු කරයි. නැත්නම් ඔවුන්ගෙ ආධාර, උපකාර අපට ලැබෙන්නෙ නැහැ. අපේ ආර්ථික ව්‍යසනය අපි විසින්ම හදාගත් එකක්. වැරදුන එක අප නිවැරදි කර ගන්න ඕනෙ. ගිය අවුරුද්දෙ දෙසැම්බර් මාසෙ රාජ්‍ය අදායම බිලියන 158යි. වියදම බිලියන 367යි. මාසයකට බිලියන 210ක හිඟයක් තිබෙනවා. මෙම බිලියන 158න් වැටුප්වලට විතරක් බිලියන 93ක්, විශ්‍රාම වැටුප්වලට බිලියන 26 ක් ආදී ලෙස විවිධ වියදම් දැරීමට සිදු වෙනවා. බිලියන 158ක් උපයාගෙන බිලියන 367ක් වියදම් කරන්නෙ කොහොමද? මේකයි සත්‍ය තත්ත්වය. මෙය තේරුම් කරගෙන අප වැඩ කටයුතු කරන්න ඕනෙ. ඒ නිසා මේ මොහොතේ රට ගොඩනැඟීමට අප සෑම කෙනෙකුටම යම් දායකත්වයක් දෙන්න සිදු වෙනවා.

අප වැටී තිබූ ආර්ථික තත්ත්වය මේ වන විට යම් තරමකට සමනය වී තිබෙනවා. මේ වන විට තෙල්, ගෑස් අත්‍යවශ්‍ය දේ අපට ලබා ගන්න පුළුවන්. විදේශ ප්‍රේෂණ වැඩි වෙලා. සංචාරක ව්‍යාපාරය දියුණු වෙමින් තිබෙනවා. අපගේ මෙම සාර්ථකත්වය තේරුම් ගත් ලෝකය අපට උදවු කිරීමට මේ වන විට සූදානම්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිලධාරි මණ්ඩල ගිවිසුම මෙම 20 දින ලංකාවත් සමඟ අත්සන් කරනවා. මේ නිසා අපට අයෝජන සහ ඩොලර් එනවා. ලංකාව නැඟිටින්න සූදානම් කියා ලෝකයට සහතිකයක් මේ තුළින් ලැබෙනවා. ජනාධිපතිවරයා වෘත්තීය සමිති කැඳවා ගැටලු විසඳීමට මාස 6-8ක් අතර කාලයක් දෙන ලෙස පැහැදිලි කර කීවා.

රට ගැන සිතා මාස 6-8ක් රට ඉදිරියට රට ගෙන යාමට රජයට ඉඩ දෙන ලෙස වර්ජන ක්‍රියාදාමයට සූදානම් වන වෘත්තීය සමිති සහ ඔවුන් පසුපස සිටින දේශපාලන කණ්ඩායම්වලින් අප ඉල්ලා සිටිනවා.

ඡායාරූපය- සුදත් නිශාන්ත

 

උපාලි කරුණාරත්න සහ

නෙත්මි පූජනී රත්නායක

නව අදහස දක්වන්න