ධාරිතාවෙන් වැඩි යතුරුපැදි ලියාපදිංචියට නිසි ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරන්න | දිනමිණ

ධාරිතාවෙන් වැඩි යතුරුපැදි ලියාපදිංචියට නිසි ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරන්න

ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන බලධාරින්ට උපදෙස් දෙයි

නීත්‍යනුකූලව මෙරට ලියාපදිංචි කර නොමැති අධි ධාරිතාවෙන් යුතු යතුරුපැදි නියමානුකූල ලෙස ලියාපදිංචි කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරන්නැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අදාළ බලධාරින්ට උපදෙස් දුන්නේය.

මෙරටට ගෙන්වා එකලස් කළ හා අධි ධාරිතාවෙන් යුතු (එන්ජින් ධාරිතාවය 450cc සිට ඉහළ) යතුරුපැදි සඳහා මෙම ක්‍රමවේදය සකස් කරන ලෙස ඇමැතිවරයා උපදෙස් දුන්නේ ස්පින් රයිඩර්ස් යතුරුපැදි හා ක්‍රීඩා සමාජය කළ ඉල්ලීමක් අනුව ඊට අදාළ පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් අමාත්‍යංශයේදී පැවැති සාකච්ඡාවකදීය.

විවිධ කාලසීමාවන් තුළ විවිධ ආකාරයෙන් මෙරටට ගෙන්වන ලද අධි ධාරිතාවයෙන් යුතු යතුරුපැදි 3000ක්‌ 4000ක්‌ පමණ මේ වන විට දිවයින පුරා විවිධ පුද්ගලයන් සතුව පවතින බව මෙම සාකච්ඡාවේදී කරුණු අනාවරණය විය. නමුත් නියමිත ආකාරයේ කිසිදු බදු ගෙවීමකින් තොරව මෙරටට ගෙන්වා ඇති මෙම යතුරුපැදිවලින් රජයට කිසිදු බදු ආදායමක් හෝ ලියාපදිංචි මුදලක් ගෙවීමක් සිදු නොකර ඇති බැවින් මෙම තත්ත්වය නිවැරදි කැර සිය යතුරුපැදි ලියාපදිංචි කිරීමට අවස්ථාවක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එහිදී යතුරුපැදි හිමියන් ඉල්ලීමක් සිදු කරන ලදී.

ඒ අනුව මේ පිළිබඳව පවතින නීතිමය තත්ත්වය සොයා බැලීමෙන් අනතුරුව මීට පෙර අය වැය යෝජනාවක් ලෙස ද සම්මතව ඇති එන්ජින් ධාරිතාව 1000 දක්වා වන යතුරුපැදි ලියාපදිංචියට අනුමැතිය ලබාදීම සඳහා ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව අවශ්‍ය කරුණු සොයා බලා වාර්තා කරන ලෙස අමාත්‍යවරයා විසින් නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේ ය.

ඒ අනුව නිශ්චිත කාලසීමාවකට පමණක් යටත්ව අනාගතයට පූර්වාදර්ශයක් නොවන පරිදි මෙම යතුරුපැදි ලියාපදිංචි කිරීමට අවශ්‍ය නීතිමය වටපිටාව සකස් කර දීමටත්, රජය විසින් නියම කරනු ලබන අධිභාරයකට යටත්ව සීමිත කාලයකට මෙලෙස පවතින යතුරුපැදි ලියාපදිංචි කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් සකස් කිරීමටත්, එම ලියාපදිංචිය ක්‍රීඩා ක්‍රියාකාරකම්වලට පමණක් සීමා කරමින් මාර්ගයේ ධාවනය කිරීම පිළිබඳව කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳවත් මෙහිදී කරුණු ඉදිරිපත් විය.

රටට නොලැබී යන බදු ආදායමක් නිශ්චිත කාලසීමාවක් තුළ යළි අයකර ගැනීම සහ නැවත නීති විරෝධී ක්‍රම තුළින් මෙරටට යතුරුපැදි ගෙන්වීම අධෛර්යමත් කිරීමටත් නිසි නීතිරීති සම්පාදනය කිරීම තුළින් මාර්ග නීතිවලට අනුකූලව නිසි රිය පැදවීමේ ක්‍රමවේදයකට අනුගත කිරීම ඇතුළු අරමුණු රැසක් මෙලෙස අධි ධාරිතාවෙන් යුතු යතුරුපැදි ලියාපදිංචිය නියමානුකූල කිරීම තුළින් සාක්ෂාත් කරගත හැකි වනු ඇති බවත් ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මෙහිදී අවධාරණය කෙළේය.

හිටපු ඇමැති, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහත්වරු මෙන්ම මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් සහ අධි ධාරිතාව නිකුත් යතුරුපැදි හිමිකරුවන්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

සුභාෂිණී සේනානායක

නව අදහස දක්වන්න