ණය කන්දක දැඩි බර හමුවේ, ශ්‍රී ලංකාව යන්තමින් හිස ඔසවා බැලීමට පටන් ගත්තා පමණි. සියල්ලට එරෙහිව විරෝධය ඉදිරියට ගැනීමට දේශපාලන තප්පුලන්නෝ වලි කෑහ. ඩොලරයට සාපේක්ෂව රුපියල යම් ප්‍රගතියක් පෙන්වන විට, ඒ සඳහා ද මාලිමාවෝ ගොනු කරන්නේ විරෝධය ය. සුනිල් හඳුන්නෙත්ති සහ ටිල්වින් සිල්වා ඩොලරයේ පැත්තේ සිට ගනිමින් නැඟිටින රුපියලට එරෙහිව දිගින් දිගටම ප්‍රහාර එල්ල කළහ. රුපියලේ ශක්තිමත් වීම, ජනතාව නොමඟ යැවීම සඳහා කෘත්‍රිමව නිර්මාණය කරන ලද තත්ත්වයක් බව හඳුන්නෙත්ති පෙරේදා ප්‍රකාශ කරන ලද්දේ, රටේ නැඟිටීම සම්බන්ධයෙන් තමන්ට ඇති විරෝධය සඟවා ගැනීමට බැරි තරමට ගැබ්බර වීමේ ප්‍රතිඵලයක් ලෙසය.
දැන් මාලිමාව සිටින්නේ, සිය සංවිධානය බිහිකිරීම සඳහා මූල හේතුව සපයන ලද අෙමරිකන් විරෝධයේ නොවේ. අංකල් සෑම්ගේ සාක්කුවේය. “පෙළපාළි යන අය පීඩාවට පත් කරන විට එක්සත් ජනපද තානාපතිනිය නිහඬ ඇයි...?” යනුවෙන් සිය දුක කීම සඳහා මාලිමාව අද තෝරාගෙන සිටින්නේ, එක්සත් ජනපද තානාපතිතුමිය ය. එතුමිය ද හැල්මේ කියා සිටින්නේ පුංචි ඡන්දය පැවැත්වීම අත්‍යවශ්‍ය බවය.
මයිනහම අදින්නට එක් පිරිසක් ද යකඩය තැළීමට එක් පිරිසක් ද ලෙස සැඟවී එකට ක්‍රියා කරන ලද පිරිස අද ප්‍රසිද්ධියේ එකට හමුවී සිටිති. මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම අස්සේ, බාධා කිරීම් ආටෝරාශියක් පැමිණෙන්නේය. 16 වෙනි වතාවට අප මූල්‍ය අරමුදලේ පහසුකම් ලබන්නේ පුරුදු වන්නට නොවේ. එයින් අපහසුම පහසුකම වී ඇත්තේ මෙවර ලබා ගැනීමය. එසේ වෙද්දී ද පැරිස් සමාජය, ඉන්දියාව, ජපානය සහ චීනය එක් තැනකට ගෙනැවිත් වැඩේ කර ගැනීමට ආණ්ඩුව සමත්ව තිබේ. ඉතිරිය ඇත්තේ මූල්‍ය අරමුදල අතේය. ඒ තරමට සියල්ල සුසර කර ගැනීමට ආණ්ඩුව කර තබා වැඩ කළහ. ඒ අතරේ සංචාරක ව්‍යාපාරය ද ‘පුරුදු පාරට’ එළැඹුණේය. මේවා වාවා ගැනීමට නොහැකි පිරිස සිදු කරන්නේ බද්දක්, විශ්ව විද්‍යාලයක් වැනි කුමක් හෝ ඇදගෙන පාරට බැසීමය. පාරට බැසීම ද අමුතු පන්නයේ කලාවකි. ඒ අයට කඳුළු ගෑස් ගැසීම සම්බන්ධයෙන් ද අධිකරණයට යන තරමට ඔවුන්ට ‘පාර ක්ලියර්’ කර තිබිය යුතුය.
දැන් විරෝධතාව යළි පැමිණ ඇත්තේ අධ්‍යාපනය අල්ලාගෙනය. උසස් පෙළ විභාගය යනු දරුවන්ගේ පමණක් නොව ජාතියේ ද කඩඉමකි. රටේ ඊළඟ තීරකයන් බිහි වනුයේ උසස් පෙළ කඩුල්ල තරණය වන ආකාරය අනුවය. ජාත්‍යන්තර පාසල් දරුවෝ මේ කිසිදු බාධාවක් නොමැතිව ලන්ඩන් ඒලෙවල් ලියති. මේ පන්තිය පිළිබඳ සහ ධනය පිළිබඳ ප්‍රශ්නයකි. වසර විසි පහකට වැඩි කාලයක් ඇදි ඇදී ගිය ගුරු වැටුප් විෂමතා ප්‍රශ්නය ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ‘ක්ලියර්’ කර දුන්නේ කොවිඩ් වසංගතය හමුවේ පැවැති ආර්ථික පීඩනය පවා දෙවැනි කර ගෙනය. එසේ තිබියදී පවා ගුරු වර්ජනය මත්තෙන් ඉල්ලීම් ලබාදුන් ආණ්ඩුව ගෙදර යැවීමට ගුරු සමිතිකාරයෝ අකෘතඥ වූහ.
වසර දෙකක පමණ කාලයක්, වයිරසයක් විසින් පමා කරන ලද්දේ දරුවන්ගේ අධ්‍යාපනය පමණක් නොවේ. ක්‍රීඩා කෞශල්‍යය, එකිනෙකාගේ සම්බන්ධය ආදී පොතෙන් පිට සියලු කලාප, නිවසට සීමා කිරීමට අධ්‍යාපනය සමත්ව තිබුණි. එසේ වුවද විභාග කාල සටහන හැකි වැර යොදා ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළේය. දැන්, සාමාන්‍ය පෙළ විභාගය සඳහා දින ද යොදා ගෙන හමාරය. එසේ තිබියදී ගුරුවරු සූදානම් වන්නේ රටේ අනාගතය උකසට තබා මූසිල ජවනිකාවට පණ පෙවීමටය. තමන් ද සවිමත් වූයේ, නිදහස් අධ්‍යාපනයෙන් හෙයින් මේ ගුරු පිරිස පක්ෂයක හෝ දේශපාලන වුවමනාවක ගෝල පිරිසක් නොවී රටේ අනාගතය සඳහා ‘ජය කොඩිය’ සූදානම් කරවීම සිය වගකීම කර ගත යුතුය. ප්‍රශ්න පත්‍ර සමීක්ෂණය කර මුලට ආ කල, එය ද සිය ඉල්ලීම් සඳහා අවියක් කොට ගන්නා ගුරාලා මේ ගෙල සිඳීමට සැරසෙන්නේ 'නැති බැරි එකා ගොඩ යන මාර්ගයේය'. ජාත්‍යන්තර පාසලට යන මුදල් ගෙවා උපාධිය සඳහා දරුවන් රට යැවිය හැකි මවුපියන්ට මේවා ප්‍රශ්න නොවේ.
කුමන බාධක මධ්‍යයේ හෝ අධ්‍යාපනය පැවැති අයුරින්ම රජය විසින් පවත්වාගෙන යමින් සිටියි. සියලු වියහියදම් කප්පාදු කර තිබියදී කිසිදු පැමිණිල්ලක් නැතුව උසස් පෙළ අවසන් විය. පෙළ පොත් සහ නිල ඇඳුම් බෙදා දීම නියමිත පරිදි සහ කිසිදු අඩුවකින් තොරව සිදු විය.
අර්බුදය ජයගත හැක්කේ මූල්‍ය අරමුදලේ ණය ගෙන, ණය ගෙවීමෙන් හෝ කොහෙන් හෝ ණයට ගෙන කෑමට, ඇඳීමට වියදම් කිරීමෙන් නොවේ. අධ්‍යාපනය සවියෙනි. මේ රටේ සාමාන්‍ය දරුවා ඉගෙන කියාගෙන ලෝකය ජයගත් විට, ඒ පවුල පමණක් නොව, මේ රට ද ගොඩ යන්නේය.
‘‘ලෝකයේ, විශේෂයෙන් බටහිර ලෝකයේ මිනිසුන් ඉන්දියාව සහ ආසියානු සංගීතය කෙරෙහි වැඩි කැමැත්තක් දක්වයි. ඒ බොහෝ කලකට පසුවය. මගේ සංස්කෘතිය වැලඳ ගැනීමට ලෝකයට දොරටු විවෘත කිරීම ගැන මම සතුටු වෙමි.’’ යැයි, RRR සිනමා පටයේ ‘නාටු නාටු’ ගීතය ඔස්කාර් සම්මානය සඳහා පෙරේදා පාත්‍ර වූ විට, එහි සංගීත රචක කිරවානි ලෝකයට කියා සිටියේය. ඉන්දියාව ලෝකය දිග් විජය කරන්නේ එසේය. දරුවන්ගේ අධ්‍යාපනයේ කර මුලට, කිණිස්ස තබා, මං පහරන තැනට ගුරු අයිතිය තබා ගෙන සිටින අර්බුදය ආහාරය කර ගත් පිරිස සිදු කරන්නේ, ලෝකයට යෑම සඳහා අපට ඇති දොරටු වහ වහා වසා දැමීමය.
නව අදහස දක්වන්න