ඇතැම් සංගම් වර්ජනයට සහාය වුවත් වෛද්‍යවරුන්ගෙන් 80%ක් වැඩ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන | දිනමිණ

ඇතැම් සංගම් වර්ජනයට සහාය වුවත් වෛද්‍යවරුන්ගෙන් 80%ක් වැඩ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

ඇතැම් සංගම්වල වෛද්‍යවරුන් වැඩ වර්ජනයට සහාය දැක්වුවත් සමස්ත වෛද්‍යවරුන්ගෙන් සියයට 80ක් දෙනා සාමාන්‍ය පරිදි මහජනතාව වෙනුවෙන් සේවය කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ කොළඹදී ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.

"අද (15) පැවැත්වෙන වෛද්‍ය වැඩ වර්ජනයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සහභාගී වන්නේ නෑ. පසුගිය දින දෙකේ වෛද්‍ය වැඩ වර්ජනයක් පැවතියත් සියයට 80ක් වෛද්‍යවරුන් වැඩ කළා. රජය සාකච්ඡා කරන්නේ වැඩ වර්ජනයේ නියුතු සියයට 20ත් එක්ක. වැඩ වර්ජනයට සම්බන්ධ නැති සියයට 80 සමඟ සාකච්ඡා නෑ. නමුත් රජය සාකච්ඡා කළ යුත්තේ වැඩ කරන මේ සියයට 80ත් එක්ක. මේ ගැටලුව තමයි, අපේ රටට මෙහෙම වෙන්න බලපා තිබෙන්නේ. සියයට 80ක කැමැත්ත නියෝජනය කරන්න ඉඩක් නොමැති වීම ගැන මම සම්පූර්ණයෙන්ම රජයට දොස් පවරනවා. අප සාකච්ඡා ඉල්ලලා වැඳ වැටෙන්න යන්නේ නෑ. නමුත් අපි කියනවා, මේ වැඩ වර්ජනය අසාධාරණයි කියලා. වෛද්‍ය පාදෙනිය වගේ අය සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩ නිසා රටේ ආර්ථිකය කඩා වැටුණා. එහෙම කරලා අද කියනවා බදු ගහන්න එපාලු. මේ වෛද්‍ය සංගමය නිසා තමයි අද ඉංජිනේරුවන්ට, ගණකාධිකාරිවරුන් ඇතුළු වෘත්තිකයන්ට බදු ගෙවන්න සිද්ධ වෙලා තිබෙන්නේ. වෘත්තිකයන්ම ගිහින් මේ වෛද්‍යවරුන් එක්ක එකතු වෙලා සිටිනවා. මොන සරදමක් ද ඒක. වැඩ වර්ජනය කරන්නේ දුප්පත් මිනිසුන්ට එරෙහිව. වෛද්‍යවරුන්ට වැඩ වර්ජනයක් කරන්නම ඕනෙ නම් කළ යුත්තේ පෞද්ගලික අංශයේ වැඩ වර්ජනයක් කිරීම. මොකද පෞද්ගලික අංශයේ සිටින වෛද්‍යවරුන්ගෙන් සියයට 95ක්ම සිටින්නේ රජයේ වෛද්‍යවරුන්. පෞද්ගලික අංශයේ වැඩ වර්ජනයක් කළාම ඒ රෝහල්වලට බේත් ගන්න පැමිණෙන මැති ඇමැතිවරුන්ට සිදු වෙනවා රජයේ රෝහල්වලට බේත් ගන්න පැමිණෙන්න. මැති ඇමැතිවරුන් රජයේ රෝහලට පැමිණ බේත් ගන්න විට ඔවුන් මට්ටු වෙනවා. අද සවස වන විට පෞද්ගලික අංශයේ රෝහල් වසා දමන තත්ත්තවයට වෛද්‍යවරුන් වැඩ කළා නම් මේ ප්‍රශ්නය විසඳා ගන්න පුළුවන්. බදු අය කිරීම සම්බන්ධයෙන් සැබෑ ප්‍රශ්නයක් වෛද්‍යවරුන්ට පවතිනවා. බදු ගැසීම වරදක් නොවන නමුත් බදු අය කිරීමේ ක්‍රමවේදයේ ගැටලුවක් පවතිනවා. රාජ්‍ය සේවාව හැකි තරම් සංකෝචනය කළ යුතුයි. එහෙම කරන්න බැරි නම් රාජ්‍ය සේවාවයි දේශපාලනයයි මිශ්‍ර කර නොගත යුතුයි. ආයතන සංග්‍රහය වැඩකට නැතිව ගිහින්. වෘත්තීය සංගම් මුවාවෙන් තමන්ගේ පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට නොදිය යුතුයි."

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ මාධ්‍ය ලේකම් වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න මහතා

"වෙනදා සිදු කරන වර්ජනවලට වඩා අද සිදු කරන වර්ජනයට අපි විරුද්ධයි. මොකද රට බංකොලොත්වී තිබෙන අවස්ථාවක එය ගොඩගැනීමට කටයුතු කරන අවස්ථාවක මෙවැනි වර්ජන සුදුසු නෑ. අහිංසක පීඩිත ජනතාව තවත් පීඩාවට පත් කිරීමට තමයි මේ වර්ජන සිදු කරන්නේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදු කරන මේ වැඩ වර්ජන කිසිසේත්ම සුදුසු නෑ."

ඡායාරූපය- වාසිත පටබැඳිගේ

සන්ධ්‍යා කරුණාරත්න සහ පවනි වික්‍රමසිංහ

නව අදහස දක්වන්න