වර්ජන මැද සේවය කරන සුව සේවකයන්ට විශේෂ ඇගයීමක් | දිනමිණ

වර්ජන මැද සේවය කරන සුව සේවකයන්ට විශේෂ ඇගයීමක්

මෑත කාලීනව ඇති වූ බරපතල අභියෝගයන් රැසකට මුහුණ දෙමින් මෙරට සෞඛ්‍ය සේවාව මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත් කරලීමට කටයුතු කරමින් සිටින මොහොතක රෝගී ජීවිත බිල්ලට දෙමින් ඇතැම් පිරිස් සිදු කරන පදනම් විරහිත වර්ජනයන්ට සහභාගී නොවී , රටෙහි මිලියන 22 ක ජනතාව උදෙසා උපරිම සේවාවක නිරත වෙමින් මේ මොහොතේ රාජකාරියේ යෙදෙන වෛද්‍යවරුන්ගේ සිට සෞඛ්‍ය සේවාවේ සමස්ත  කාර්යය මණ්ඩලය ඇගයීමට ලක් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
 
ඒ අනුව මේ වන විට බොහෝ වෘත්තීය සංගම් මෙන්ම සෞඛ්‍ය සේවාවේ බොහෝ පිරිස් සාමාන්‍ය පරිදි රාජකාරියේ නිරත වන බවත්, එම පිරිස දැඩි කැපවීමෙන් සිය රාජකාරි කටයුතු වල යෙදෙන බවත් පැවසූ අමාත්‍යවරයා, මෙම පිරිස් පිළිබඳව සොයා බලා විශේෂ ඇගයීමක් ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් ලබාදී තිබේ.
 
ඒ අනුව වෘත්තීය මට්ටමින් ලබා දිය හැකි ඇගයීම් පිළිබඳව සොයාබලා ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දුන්නේය.
 
රට ඉදිරියට යන මෙවැනි අවස්ථාවක යම් යම් දේශපාලනික කණ්ඩායම් හා වෘත්තීය සංගම් යැයි කියා ගන්නා ඇතැම් පිරිස් මා මෙන්ම සෞඛ්‍ය සේවාවට ඉතාමත් ද්වේශ සහගතව අභූත චෝදනා එල්ල කරමින් තමන්ගේ විනාශකාරී දේශපාලනික ගමන්මග පෙන්නුම් කළද එම අභූත චෝදනාවන්ට මුහුණට මුහුණලා සදාචාරාත්මක ලෙස ප්‍රතිචාර දැක්වීමට තමන් සූදානම් බවද අමාත්‍ය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙයි.
 
දශක තුනක ම්ලේච්ඡ ත්‍රස්තවාදය පරාජය කිරීමේ දී රණවිරුවන් මෙන්ම රටෙහි  ජනතාව තුළ තිබූ ඉහළ කැපවීම නිසාවෙන් එය සාර්ථකව පරාජය කිරීමට හැකිවූ බවද විශේෂයෙන් කොවිඩ් ව්‍යසන සමයේ සෞඛ්‍ය සේවාවේ ඉහළ සිට පහළ දක්වා සැවොම දැක්වූ කැප කිරීම නිසා එය සාර්ථකව පාලනය කිරීමට හැකි වීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා ඇගයීමට ලක් වූ යැයි හෙතෙම පෙන්වා දෙයි.
 
ඒ අනුව වර්තමානයේ මෙරට සෞඛ්‍ය පද්ධතිය සාමාන්‍ය තත්ත්වයට මේ වනවිට පත්වෙමින් තිබෙන බව ද ඒ වෙනුවෙන් සමස්ත සෞඛ්‍ය සේවාවේ කැපවීම  තවදුරටත් අත්‍යවශ්‍ය බවද මේ වෙනුවෙන් කැප වන සෑම දෙනාම ජාතිය ප්‍රණාමයට ලක් වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
 

නව අදහස දක්වන්න