ඉන්දීය නිවාස ව්‍යාපෘතිය කඩිනම් කිරීමට පියවර | දිනමිණ

ඉන්දීය නිවාස ව්‍යාපෘතිය කඩිනම් කිරීමට පියවර

මෙරට වතුකරයේ ජනතාවට ලබාදීමට සැලසුම් කර තිබෙන ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ තෙවන අදියරේ නිවසක පිරිවැය තුන් ගුණයකින් ඉහළ නැංවීමට අවකාශ සලසමින් ඒ සඳහා වන රාජ්‍ය තාන්ත්‍රික ලේඛන හුවමාරු කර ගැනීම පසුගියදා සිදුවිය. 
 
ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා සහ ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතා විසින් අදාළ රාජ්‍ය තාන්ත්‍රික ලේඛන හුවමාරු කර ගැනීම සිදු කරන ලදි. 
 
මෙම පියවර ඉන්දීය රජයේ ප්‍රදාන යටතේ ශ්‍රී ලංකාවේ මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල දිස්ත්‍රික්ක 7ක් පුරා පැතිර තිබෙන වතුකර ප්‍රදේශයන්හි නිවාස 4000ක් ඉදිවන මෙම තෙවන අදියර කඩිනමින් සම්පූර්ණ කිරීම සඳහා ඉවහල් වනු ඇත. 
 
ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ පළමු අදියර දෙක යටතේ ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල නිවාස 46,000කට ආසන්න සංඛ්‍යාවක් ඉදි කරන ලදී. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ප්‍රකාශ කළ වතුකර ප්‍රදේශයන්හි නිවාස 10,000ක් ඉදිකිරීම සඳහා වන මීළඟ පියවර නුදුරේදී ම ආරම්භ කරනු ඇත. 
 
ප්‍රධාන වශයෙන්ම වතුකර ප්‍රදේශවල ජීවත් වන ඉන්දියානු සම්භවයක් සහිත ද්‍රවිඩ ප්‍රජාව ශ්‍රී ලංකාවට පැමිණ වසර 200ක් සපිරෙන අවස්ථාවේදී මෙම රාජ්‍ය තාන්ත්‍රික ලේඛන හුවමාරු කරගැනීම සුවිශේෂී සිදුවීමක් වේ. එසේම, මෙම වසරේදී මහනුවර ඉන්දියානු සහකාර මහ කොමසාරිස් කාර්යාලය පිහිටුවා වසර 100ක් ද සපිරේ. 
 
සහකාර මහ කොමසාරිස් කාර්යාලය ඉන්දියානු රජයේ ප්‍රදාන යටතේ ඉන්දීය සම්භවයක් සහිත දමිළ ප්‍රජාව සඳහා නිවාස ඉදිකිරීමට අමතරව අධ්‍යාපන, සෞඛ්‍ය, වෘත්තීය පුහුණුව, ජීවනෝපාය සංවර්ධනය සහ වෙනත් විවිධ ක්ෂේත්‍ර රැසක ජනතා කේන්ද්‍රීය ව්‍යාපෘතීන් රැසක් ක්‍රියාත්මක කිරීමෙහි ලා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. 
 
දෙරට අතර ද්විපාර්ශවික සබඳතා පිහිටුවා වසර 75ක් සපිරීමට සමගාමීව ඉන්දියානු සහ ශ්‍රී ලංකා රජයන් මෙම වැදගත් අවස්ථාවන් විවිධ ඒකාබද්ධ පියවර හරහා සමරනු ඇත. 
 
 
 

නව අදහස දක්වන්න