ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් සහ පොලිසිය අතර ගැටුම් | දිනමිණ

ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් සහ පොලිසිය අතර ගැටුම්

පාකිස්ථානයේ විපක්ෂ නායක ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් උත්සාහ කිරීමේදී ආධාරකරුවන් ඔහුගේ නිවසින් පිටත සිටි පොලිසිය සමග ගැටුමක් ඇති කරගෙන තිබේ. 
 
ආධාරකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති අතර ඔවුන් ගල් හා ගඩොල් ප්‍රහාර එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
 
පොලිසිය බලහත්කාරයෙන් නිවස ඇතුළට යාමට උත්සාහ කිරීමත් සමග ලාහෝර් නගරයේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති බවද සදහන් වේ.
 
ධූරයේ සිටියදී රාජ්‍ය දේපල විකුණූ බවට ඉම්රාන් ඛාන්ට චෝදනා එල්ල වී තිබෙන අතර ඔහු පවසන්නේ මෙම නඩුව දේශපාලන අරමුණක් මත සිදු වූවක් බවයි.
 
පොලිසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට මීට පෙර උත්සාහ දරා ඇතත්, 70 හැවිරිදි ඉම්රාන් ඛාන් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ මෙවර ඔහුව සිරගත කිරීමට ඔවුන් අධිෂ්ඨාන කරගෙන සිටින බවයි.
 
තමන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහයේදී බලධාරීන් නීතියට පිටින් කටයුතු කරන බව ද ඉම්රාන් ඛාන් පවසයි.
 
එමෙන්ම තම පක්ෂය ඉදිරි මැතිවරණවලට සහභාගි වීම වැළක්වීම සඳහා බලධාරීන් තමන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරන බවත්,”හිරේ හිටියත් නැතත් මගේ පක්‍ෂය දිනන එක නවත්වන්න එයාලට බැරි වෙන බවත්” ඔහු සඳහන් කර තිබේ.
 

නව අදහස දක්වන්න