සළිඳු, හරක් කටා අතරේ නොපෙනෙන පාතාලයා | දිනමිණ

සළිඳු, හරක් කටා අතරේ නොපෙනෙන පාතාලයා

කුඩු සළිඳු සහ හරක් කටා ඊයේ ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිතව තිබුණි. පාතාලයේ සොල්දාදුවෝ ලෙස හැඳින්වෙන මේ ගණයට අයත් පිරිස්, නීත්‍යනුකූලභාවයෙන් තොරව වුවද, මේ රටේ දශක පහකට ආසන්න කාලයක් සිය මෙහෙයේ නිරතව සිටියේය. පොඩි පොඩියට ගමෙන් පටන් ගන්නා චරිතය කලක් යන විට, පොලිසියේ රැඳෙන නමක් වන්නේය. ඊට පසු මාධ්‍යය ද හරි හරියට ප්‍රචාරය ලබාදීම නිසා ඒ චරිතය උස් මහත් වන්නේය. ඊට පසු ඔහුට ද දරා ගත නොහැකි කිරුළක් හිසට වැටෙන අතර, ජාවාරම් යන්ත්‍රණය හරහා රටේම පාතාලය සමඟ මිතුරු හෝ සතුරු සම්බන්ධයක් මේකාට ඇති වන්නේය. එතැන් සිට සොල්දාදුවා, රජෙකු වන්නේය. පාතාලයේ පීක් සමය, වසර පහක් ඉක්ම වන්නේ නැත. තවත් පාතාල වෙඩිල්ලකට හෝ ආයුධ පෙන්වන්නට ගොස් ඒකාද අඩි හයක් යට පාතාලයට යන්නේය.

පාතාලය ලෙස නම් වන්නේ, නෛතික නොවන තත්ත්වයක් යටතේ සංවිධානාත්මක අපරාධ ක්‍රියා සහිත සිදු කරන්නා වූ ක්‍රියාවලියකි. මෙවන් පාතාල ගණනාවක් මේ රටේ දශක ගණනාවක සිට ක්‍රියාත්මක වේ. එයින් එකක් වන්නේ පාතාල දේශපාලනය, අනික වෘත්තීය සමිති පාතාලය ය.

සූරාකෑම නම් මාක්ස්වාදී සංකල්පය ඇති වන්නේ කාර්මික විප්ලවයෙන් පසු කම්කරුවා පත්වන තත්ත්වය සම්බන්ධයෙන් කම්කරුවාගේ පැත්තේ සිට සිදු කරන කියැවීමක් හේතුවෙනි. තළා පෙළා වැඩ ගැනීමේ වහල් මෙහෙය, අහෝසි වී ගිය ද කම්කරුවා වෙනත් ආකාරයක වහලකු ලෙස යුරෝපයේ කටයුතු කළේය. ඒ තත්ත්වය සඳහා විසඳුමක් ලෙස සහ කම්කරු හඬ නියෝජනය කරමින් කම්කරුවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් වන කතිකාවත් බිහි විය.

වෘත්තීය සමිති ව්‍යාපාරය ඇති වන්නේ මේ පදනමිනි. මීට දශක ගණනාවකට පෙර වෘත්තීය සමිති ව්‍යාපාරය තිබුණේ, කම්කරුවාගේ සටන් ව්‍යාපාරයේ කොටසක් ලෙසය. ඒ කාලයේදී, වෘත්තීය සමිති සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කෙරුණේ කම්කරු නීතිරීති තව තවත් ශක්තිමත් කර ගැනීම ආදී ලෙස, එම පාර්ශ්ව බලවත් කර ගන්නා ආකාරය පිළිබඳවය. දැන් වෘත්තීය සමිති එම සීමාව ඉක්මවා යමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ පමණක් නොවේ. ලෝකය වටේම වෘත්තීය සමිති සිටින්නේ කම්කරු අයිතිය මුලට දමා, මුදුන් මුල හාම්පුතුන්ගේ අවශ්‍යතා සඳහා යොමු කරන ලද තත්ත්වයකය. වෘත්තීය සමිති නායකයෝ යනු ප්‍රසිද්ධම කප්පම් කල්ලියකි. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයෝ මේ බව අත්දැකීමෙන් දනිති. එක් පක්ෂයක වෘත්තීය සමිතියක් පක්ෂ අරමුදලට කියමින් මාසිකව ඒ ඒ ආයතන මඟින් කප්පම් ගන්නා ආකාරය පැහැදිලි කරමින්, ව්‍යාපාරිකයෙකු වරක් පවසා සිටියේ, ලංකාවේ ලොකුම පාතාලය, එම පිරිස බවය. මේ නායකයෝ පක්ෂයට ද කන්ට්‍රෝල් නැති තරමේ බලයක් ඇතිව සිටිති. ඒ පිළිබඳව පක්ෂයට ද ප්‍රශ්නයක් නැත. කුට්ටියෙන් කීයක් හෝ සාක්කුවට දමා ගන්නා මේ කණ්ඩායම පක්ෂයේ බලය ඇල්ලීම සඳහා පැමිණෙන්නේ නැත. එසේම පක්ෂ නායකයාට එරෙහිව, අතන මෙතන කතා කියුවද, නායකයාගේ හොරකම් ස්වල්පයක් ඔහු දන්නේ වුවද ඔහුගේ සහ දෙවැනියාගේ අඩි පුඩි ගැසීම්, යටි මඩි ගැසීම් සහ ඉණෙන් පහළ සෙල්ලම් ඇති පදමට නායකයා දන්නා බැවින් හාම්පුතාලාට සේම, පක්ෂ නායකයාට ද මේ වෘත්තීය සමිති ව්‍යාපාරය අතිශය කීකරුය. එවැනි වෘත්තීය සමිති ගණනාවක් මේ රටේ තිබේ. මේ වාක්‍ය කොටස කියවන විට පාඨකයා වෙත මතකයට නැඟුණු වෘත්තීය සමිති චරිතය හරියට හරිය. පුද්ගලයා ඔහුය.

මෙවන් වෘත්තීය සමිති ව්‍යාපාර පිළිබඳව අද ලෝක කතිකාවත වෙනස්ය. Labor Racketeering: The Mafia and the Unions නමින් පොතක් පළ කරමින්, මයිකල් ටොන්රි, නූතන වෘත්තීය සමිති ව්‍යාපාරයේ හැඩය පැහැදිලි කර තිබේ. ඒ අනුව වෘත්තිය සමිති ව්‍යාපාරය අද පත්ව ඇත්තේ නීති විරෝධී ආකාරයෙන් සහ පුද්ගලික වාසි සඳහා සිය අධිකාරිය අනිසි ලෙස භාවිත කරනු ලබන තත්ත්වයකටය. එය වෘත්තීය සමිති ව්‍යාපාරයක් නොව ශ්‍රම ජාවාරම නම් සංවිධානාත්මක අපරාධයක් බව ටොන්රිගේ කියවීමයි. මෙහි අපරාධ වර්ග ලෙස නීති විරෝධී වැඩවර්ජන, පිකටින් සහ සේවා ස්ථාන කඩාකප්පල් කිරීම්වලට තර්ජනය කරමින් සේවා යෝජකයන්ගෙන් කප්පම් ගැනීම් ඇතුළත් වේ. සාමූහික කේවල් කිරීමේ ගිවිසුමේ නියමයන් නොසලකා හැරීමට සේවා යෝජකයාට ඉඩ දීම වෙනුවට සේවා යෝජකයින්ගෙන් අල්ලස් ඉල්ලා සිටීම සහ ලබා ගැනීම, යානාදිය ඊට ඇතුළත් වේ.

20 වැනි සියවසේ ආරම්භයේ සිටම කම්කරු ජාවාරම අපරාධ ගැටලුවක් සහ සමාජ ගැටලුවක් විය. 1970 දශකයේ අගභාගය වන තුරුත් 1980 ගණන් වන තුරුත් ගැටලුවට පහර දීම සඳහා ඒකාබද්ධ දේශපාලන හෝ නීතිය බලාත්මක කිරීමේ කැපවීමක් නොතිබුණි. සංවිධානාත්මක අපරාධයක ආකාරයක් ලෙස කම්කරු ජාවාරම අධ්‍යයනය කළ හැකිය. එය ජනනය කරන සාපරාධී වැරදිවල ආස්ථානයෙන් ද ප්‍රවේශ විය හැකිය. කප්පම් ගැනීම, මංකොල්ලකෑම, වංචාව, ප්‍රචණ්ඩත්වය, පැහැර ගැනීම්, වෙළඳාම සීමා කිරීම සහ වෘත්තීය සමිති සාමාජිකයින්ගේ අයිතිවාසිකම් දේශපාලන හෝ වෙනත් අවශ්‍යතා සඳහා භාවිත කිරීම සඳහාය.

මේ නූතන වෘත්තීය සමිති ව්‍යාපාරය පිළිබඳව කියැවීම රට හමුවේ තබන ලද්දේ, සියල්ල පරණ නිර්වචන යටතේ නොකියවන ලෙස මතක් කිරීමටය. අද මෙම තීරුව අවසන් කරනුයේ චිත්‍රපට ජවනිකාවකිනි.

“ ම.. මම දන්නෙ නැහැ ඔ.. ඔවුන් කොහොමද තමන්.. තමන්ගේම මිනීවළ මේ තරම් හොඳට කපා ගන්නේ කියලා. සමහර විට ඔවුන් හිතනවා ඇති, හොඳට කැපුවොත් තුවක්කුව අතැති කෙනා හිත වෙනස් කරගනීවි කියලා.”

ද අයිරිෂ් මෑන් නම් ඉංග්‍රීසි චිත්‍රපටියේ දී එහි ප්‍රධාන චරිතය වන ෆ්‍රෑන්ක් නම් අයිරිෂ් ජාතික අමෙරිකානු කුලී ඝාතකයා එසේ ප්‍රකාශ කරන්නේ, තමන් දෙවැනි ලෝක යුද්ධය සමයේ සිදු කළ අපරාධ සිහිපත් කරමිනි.

නව අදහස දක්වන්න