පීඩාවට පත්ව සිටින ජනතාව තව දුරටත් පීඩාවට පත් නොවන ලෙස අරගලයට නායකත්වය දීම අත්‍යවශ්‍ය බව ජාතික ජනබල වේගයේ විධායක කමිටු සාමාජික කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවැසීය.
පාලකයනයට එරෙහිව සිදු කරන අරගලය පාලකයන්ට පමණක් දැනෙන ආකාරයෙන් කළ යුතු බව හෙතෙම කීවේය.
අරගලයට පාලකයෝ ප්‍රතිචාර දක්වන ආකාරය බලා ඉන් පසු ඊට ගැළපෙන අයුරින් ඉදිරි ක්‍රියාමාර්ග තෝරාගත යුතු බවද ඒ මහතා කියා සිටියේය.
ලාල්කාන්ත මහතා වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය:
“අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනුව පාරට බැහැලා ජන අරගල කරන්නත්, උද්ඝෝෂණ කරන්නත්, වැඩ වර්ජන කරන්නත් සම්පූර්ණ අයිතියක් තිබෙනවා. අයිතිය පාවිච්චි කරන්න කාටත් පුළුවන්. ඒ අයිතියට විරුද්ධ වෙන්න කාටවත් බැහැ. හැබැයි මේ වෙලාවේ අරගල කරන කොට අපිට සැලකිල්ලට ගන්න වෙන කාරණා රාශියක් තිබෙනවා. එකක් මේ රටේ ජනතාව අන්ත පීඩාවකට පත් වෙලා තිබෙන මොහොතක ඒ ජනතාව පීඩාවකට පත් නොවෙන්න අරගලවල සටන් ක්‍රියාමාර්ග තෝරන්න ඕන.
පාලකයට එරෙහිව කරන අරගලය පාලකයට පමණක් වන විදියට. මේ පීඩාවට පත් වෙලා ඉන්න ජනතාව එතැනින් තව දුරටත් පීඩාවට පත් නොවන ලෙස මේ අරගලයට නායකත්වය දීම අත්‍යවශ්‍යයි. සමහර අය අඛණ්ඩ වර්ජනයක් ගැන කතා කරනවා. කතා කිරීමට කමක් නැහැ.අරගලයේ ප්‍රතිඵල බලලා පාලකයෝ මේකට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා බලලා ධනාත්මක ප්‍රතිචාර තිබ්බොත් ඒකට සරිලන්න ඉදිරි ක්‍රියාමාර්ග තෝරන්න ඕන.
ඍණාත්මක ප්‍රතිචාර නම් තිබෙන්නේ එතැනින් පස්සේ ඒකට ගැළපෙන්න මාර්ග තෝරන්න ඕන. කිසිම වෘත්තීය සමිති අරගලයකදී ඒ ඒ තත්ත්වයන් ඇතුළේ ඒ මොහොතේ ජයග්‍රහණ, පසුබැසීම් සලකලා බලලා ක්‍රියාමාර්ග තෝරනවා මිස එතැනින් පටන් ගෙන මෙතැනින් ඉවර කරනව කියලා එහෙම අරගල නැහැ.“
නුවන් කොඩිකාර
නව අදහස දක්වන්න