වැඩවර්ජන ජය ගන්න මාස 5ක දරුවා ප්‍රාණ ඇපයට ගෙන | දිනමිණ

වැඩවර්ජන ජය ගන්න මාස 5ක දරුවා ප්‍රාණ ඇපයට ගෙන

දීප ව්‍යාප්ත වැඩවර්ජනය හේතුවෙන් රාජ්‍ය ආයතන රැසක් අකර්මණ්‍ය වෙද්දී හුස්ම ගැනීමේ අපහසුතාවයක් මත ඇතිවූ රෝගී තත්ත්වය නිසා දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලට ඇතුළත් කළ මාස පහක කුඩා දරුවෙකුට ප්‍රතිකාර නොලබා පිටව යෑමේ දුක්බර පුවතක් ඊයේ (15) උදෑසන වාර්තා විය.

දඹුල්ල, ගලේවෙල, සීගිරිය හා නාඋල ආදී ප්‍රදේශවල පාසල් සියල්ල වසා දමා තිබූ අතර, රජයේ රෝහල් සියල්ල සේවාවලින් ඉවත්ව තිබුණු අතර, රාජ්‍ය බැංකු වසා දමා තිබිණි.

මේ අතර දඹුල්ල මූලික රෝහලට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින පුවත වාර්තා කරමින් සිටින අවස්ථාවේදී එක්වරම මවක් තම මාස හයක් පමණ වයසැති දරුවා ද සමඟ රෝහලෙන් කෑ කෝ ගසා පිටව යන අයුරු දැක ගැනීමට හැකිව තිබේ. දඹුල්ල සිට දුර බැහැර ප්‍රදේශයක පිහිටි නයාකුඹුර ප්‍රදේශයේ පදිංචි බව කියන හංසිකා සඳමාලි නැමැති මවක් මාස 5ක් පමණ වයසැති තම දරුවා උදෑසන 6 පසුවී විනාඩි කිහිපයක් ගෙවී යද්දී දඹුල්ල මූලික රෝහලට රැගෙනවිත් ඇත්තේ හුස්ම ගැනීමේ අපහසුතාවය නිසාවෙන් බව ඇය සඳහන් කර ඇත. පසුව දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලෙහි අංක හය වාට්ටුවට මෙම දරුවා බාහිර රෝගී අංශයෙන් ඇතුළත් කොට තිබෙන බවත් එහෙත් පැය දෙකක පමණ කාලයක් වාට්ටුවේ රැඳී සිටියද වාට්ටුව තුළ මෙම දරුවා ලියාපදිංචි කර නොගැනීම, වෛද්‍යවරයකු හෝ හෙදියක දරුවා පරීක්ෂා කර බැලීමකින් තොරව සිටීම, එහි සිටි සාමාන්‍ය සේවිකාවන්ගෙන් විමසීමේ දී වෛද්‍යවරු පැමිණෙනතුරු සිටිය යුතු බවත් වෛද්‍යවරු නොමැතිනම් හෙද නිලධාරිනියක් පැමිණෙනතුරු රැඳී සිටිය යුතු බවත් පවසමින් කිසිදු ප්‍රතිකාර නොලබා සිටි බව ඇය පවසා ඇත. පසුව තම දරුවාගේ හුස්ම ගැනීම අපහසු වී රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් වාට්ටුවට ඇතුළත් කිරීම සඳහා ලබාදුන් ඇතුළත් කිරීමේ පත්‍රය ද රැගෙන රෝහලෙන් පිටව පුද්ගලික ප්‍රතිකාර කරන ස්ථානයකට යන බව සඳහන් කරමින් දරුවා ද සමඟ පිටව ගොස් ඇත.

රෝහලේ ප්‍රධාන හෙද පාලකවරයා වූ ප්‍රියන්ජන රංජන මහතාගෙන් විමසීමේ දී පවසා සිටියේ වැඩ වර්ජනය ක්‍රියාත්මක වුවද නේවාසික සහ හදිසි ප්‍රතිකාර කටයුතු සියල්ල සිදු කරමින් පවතින බවය.

එවැනි දෙයක් සිදුවීමට කිසිසේත් ඉඩ නැති බව හෙතෙම සඳහන් කළේය. පසුව අවට සිටි අය කියා සිටියේ එවැනි දෙයක් රෝහල ඉදිරිපිට සිදු වූ බවය. පසුව ප්‍රධාන හෙද නිලධාරිවරයා රෝහලේම දුරකතනය හරහා අංක හය වාට්ටුවට ඇමතුමක් ලබාගෙන එවැනි සිද්ධියක් සිදු වූයේ දැයි විමසන්නට විය. කෙසේ වෙතත් ඊට නිසි පිළිතුරක් එම ඇමතුමෙන් ප්‍රධාන හෙද නිලධාරිවරයාට ද නොලැබිණි.

බාහිර රෝගී අංශයේ රෝගියා ඇතුළත් කළ සේවකයන් කියා සිටියේ උදෑසන 6 පසු විනාඩි කිහිපයකට පසු එම දරුවා අංක හය වාට්ටුවට ඇතුළත් කළ බවය.

කෙසේ වෙතත් එම ස්ථානයෙන් නික්ම යන විටත් අංක හය වාට්ටුවෙන් පිටව ගිය දරුවාට ප්‍රතිකාර ගැනීමක් හෝ ඒ පිළිබඳව පරීක්ෂණයක් විමසීමක් සිදු වන ආකාරයක් දැක ගැනීමට හැකි නොවීය.

දඹුල්ල මූලික රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණ සිටි බොහෝ ජනතාවගෙන් මෙම වැඩවර්ජනය කුමක් නිසාදැයි යන්න විමසීමේදී එහි බහුතරයක් වැඩ වර්ජනයට හේතුව කුමක්ද යන්න නොදැන සිටීම විශේෂත්වයකි.

 

සීගිරිය විශේෂ

නව අදහස දක්වන්න