ඇමැතිවරු තීන්දු තීරණ ගැනීමේදී වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කළ යුතුයි | දිනමිණ

ඇමැතිවරු තීන්දු තීරණ ගැනීමේදී වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කළ යුතුයි

අගමැති දිනේෂ් ගුණවර්ධන

ඇමැතිවරු තීන්දු තීරණ ගැනීමේදී වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කළ යුතු බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා හා වෘත්තීය සමිති අතර අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවලදී අගමැතිවරයා මේ බව සඳහන් කෙළේය.

අගමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.

සමහර ආයතන වෘත්තීය සමිති සමඟ කිසිදු සාකච්ඡාවකින් තොරව තීරණ ක්‍රියාත්මක කිරීම හා ක්‍රියාමාර්ග ගැනීමෙන් සේවකයන් කලකිරීමටත්, අපහසුතාවයට පත් වෙනවා පමණක් නොව, ආයතනයේ පැවැත්මට හානි කර ක්‍රියාවක් සිදු වෙනවා.

එසේ සාකච්ඡා නොකර තීන්දු, තීරණ ගැනීම ආයතන තුළ සේවක සුහදතාවයට බාධාවක් .

අපේ ආයතනික උරුමයන් කෑල්ල කෑල්ල වෙනස් වෙනවා නම්, කෑල්ල කෑල්ල හැලිලා යනවා නම් ඒ වේදනාව දැනෙන්නේ ආයතනයේ කටයුතු කරන සහ වෘත්තිය සමිති ව්‍යාපාරයේ සිටින ඔබට අපට. විෂය භාර ඇමැතිවරු ඒ ඒ ආයතනයන්හි වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කළ යුතුයි.

ආර්ථික අර්බුදය, ණය ලබා ගැනීම හමුවේ ගැටලු රාශියකට මුහුණ දෙන්න සිදුවෙලා තියනවා. ජනතාවට බර පැටවෙන රාජ්‍ය ආයතන පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී ආයතන සහ සේවකයන් සුරකිමින් ඉදිරියට යන්න අප කටයුතු කරනවා. පළමුව අපි මේ කපොල්ල පනිමු.

මෙහිදී වෘත්තිය සමිති නියෝජිතයන් අදාළ ආයතනයන්හි ගැටලු අගමැතිවරයාට ඉදිරිපත් කළ අතර, එම ගැටලු සම්බන්ධයෙන් ඒ ඒ අමාත්‍යාංශ ආයතන වශයෙන් ඇමැතිවරු හා නිලධාරින් සමඟ සාකච්ඡා කිරීමට ඉක්මනින් කටයුතු කරනවා.

රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී ලොකුගේ, මහින්දානන්ද අලුත්ගමගේ මහත්වරුන් ඇතුළු පොදුජන ප්‍රගතිශීලී වෘත්තිය සමිති ජාතික මධ්‍යස්ථානය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, වරාය ශාඛාව, ජාතික ජලාපවාහන මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය, එල්.ආර්.ඩී.සී සංගමය, ශ්‍රී ලංකා ටෙලිකොම්, රක්ෂණ සංස්ථාව නියෝජනය කරමින් පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමය, පොදුජන රාජ්‍ය සේවක සංගමය, පොදුජන ප්‍රවාහන සේවක සංගමය, පොදුජන වතු සේවක සංගමය, පොදුජන ගුරු සංගමය, පොදුජන පළාත් පාලන සේවක සංගමය, රාජ්‍ය සේවා වෘත්තිය සමිති සම්මේලනය, උපාධිධාරි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය යන වෘත්තීය සංගම් නියෝජනය කරමින් නියෝජිතයන් මේ අවස්ථාවට සහභාගි වූහ.

 

නුවන් කොඩිකාර

නව අදහස දක්වන්න