වර්ජනයෙන් රාජ්‍ය ආයතනවල කටයුතුවලට බාධාවක් නෑ | දිනමිණ

වර්ජනයෙන් රාජ්‍ය ආයතනවල කටයුතුවලට බාධාවක් නෑ

  • බැංකු-ලංගම-රෝහල්-ඛනිජ තෙල් ගුවන්තොටුපොළ සාමාන්‍ය පරිදි
  • සේවයට නොපැමිණි සියලු නිලධාරීන්ට දිනක වැටුප අහෝසියි
  • දුම්රිය 21ක් ධාවනයේ

නව බදු ප්‍රතිපත්තිය අදාළ නොවන වෘත්තීය සමිති පවා වර්ජනයට කැඳවමින් රාජ්‍ය අංශයේ කටයුතු අඩාළ කිරීමට මෙම වර්ජනය දියත් කළ පිරිස් උත්සාහ කළත් කැඳවා තිබූ වැඩවර්ජනය වෘත්තීය අයිතිවාසිකම් සම්බන්ධ නොවන්නක් බැවින් බොහෝ වෘත්තීය සමිති වර්ජන කටයුතුවලින් බැහැරව දෛනික රාජකාරි කටයුතු පවත්වාගෙන යෑමට සහාය වූ බවත් ඔවුහු පැවසූහ.

විධිමත් පරිදි නිවාඩු අනුමත නොකරවාගෙන සේවයට නොපැමිණෙන සියලුම නිලධාරින් සඳහා වැටුප් රහිත දිනයක් ලෙස සලකා කටයුතු කරන ලෙස කම්කරු කොමසාරිස් ජනරාල්වරයා රජයේ කාර්යාලවලට පෙරේදා (15) දැනුම් දී තිබේ.

ජාතික රෝහලේ කටයුතු 80%ක පමණ මට්ටමකින් ක්‍රියාත්මක වූ බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේය. හෙදියන්ගෙන් 99%ක් සේවයට වාර්තා කර ඇති බවත් බාහිර රෝගී අංශය හැර අනෙකුත් අංශ සාමාන්‍ය පරිදි පවත්වාගෙන ගිය බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය. බාහිර රෝගී අංශයට පැමිණි රෝගීහු තමන් බිල්ලට ගනිමින් සිදු කරන වැඩවැරුම ඉතා අසාධාරණ බව ප්‍රකාශ කළහ.

පෙරවරු 11.00 වන විට ලංගම ඩිපෝ 107ම නියමිත කාලසටහනට අනුව ක්‍රියාත්මක කෙරුණු බවත් ලංගම වෘත්තීය සමිති 08න් ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිතිය හැර අනෙක් වෘත්තීය සමිති 07ම සහයෝගිත්වයෙන් කටයුතු කළ බවත් ලංගම සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කළේය.

මේ අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදු වූ බව එහි සභාපති එම්.යූ. මොහොමඩ් මහතා පැවසුවේය. ඒ අනුව රට තුළ ඉන්ධන හිඟයක් ඇති නොවීම සඳහා සාමාන්‍ය පරිදි රට පුරා ඉන්ධන තොග බෙදාහැරීම සඳහා පෙට්‍රල් සහ ඩීසල් ලීටර් 6,600ක ධාරිතාවකින් යුත් බවුසර් 300කට අධික ප්‍රමාණයක් ඊයේ සූදානම් කෙරුණු බවත් ඔහු සඳහන් කළේය.

දිවයින තුළ අත්‍යවශ්‍ය සේවාවන් හරියාකාරව පවත්වා ගැනීම සඳහා සහ ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යෑම සඳහා අඛණ්ඩව දුම්රිය සේවාව පවත්වාගෙන යෑමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය පියවර ගෙන තිබූ අතර දුම්රිය සේවකයන්ගේ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නොතකමින්, මඟීන්ගේ පහසුව සඳහා ඊයේ උදෑසන 8.00 වන විට දුම්රිය 21ක් ධාවනය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා තහවුරු කළේය. මෙම සියලු දුම්රිය ද්විත්ව බලවේග කට්ටලවලින් සමන්විත බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මඟීන්ගේ සහ දුම්රියවල ආරක්ෂාව සඳහා කොටුව දුම්රියපොළ ඇතුළු දුම්රිය ස්ථානවලට යුද හමුදා සහ පොලිස් නිලධාරීන් යොදවා තිබිණි. දුම්රිය ධාවනය වන අවස්ථාවේදී එයට බාධා කිරීම සඳහා ගල් ගැසීම හෝ වෙනත් කඩාකප්පල් ක්‍රියා සිදුවීම වැළැක්වීමටත් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහ මඟී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරමින් දිවයින තුළ මහජන සාමය පවත්වාගෙන යෑමටත් අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය විසින් ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබිණි.ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු රාජ්‍ය බැංකු කටයුතුද සාමාන්‍ය පරිදි සිදු වූ බව බැංකු ප්‍රධානීහු සඳහන් කළහ. මහජන බැංකුවේ කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වූ බව එහි සභාපති වරලත් ගණකාධිකාරී සුජීම රාජපක්ෂ මහතා පැවසීය.

මහජන බැංකුවේ ශාඛා 352න් 330ක් පූර්ණ ලෙස ක්‍රියාත්මක වූ බවත් පෙරවරු 10.30 වන විට කාර්‍ය මණ්ඩලයේ පැමිණීම 75% ඉක්මවූ බවත් මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා මහතා පැවසීය.මහජනතාවට සේවය කිරීම සඳහා ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයේ සියලුම අංශ ඇතුළු ශාඛා 265ක බැංකු සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කළ බව ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී රසල් ෆොන්සේකා මහතා සඳහන් කළේය. එසේම ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ කටයුතුද සාමාන්‍ය පරිදි සිදු වූ බව එම බැංකුවේ ඉහළ කළමනාකාරිත්වය පැවසීය.

ලංකා බැංකු සේවක සංගමය සංවිධානය කළ රාජ්‍ය අංශයේ වැඩවැරුම සම්පූර්ණයෙන්ම අසාර්ථක බව ප්‍රගති බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ඒ.කේ. බණ්ඩාර මහතා පැවසීය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මෙහෙයුම් කටයුතුද සාමාන්‍ය පරිදි සිදු කෙරුණු බව එහි ප්‍රකාශකයකු පැවසීය.

කොළඹ වරායේ ඊයේ දිනට සේවයට පැමිණීමට නියමිත සියලුම සේවකයන් සේවයට වාර්තා කළ බව වරාය අධිකාරියේ උප සභාපති ගයාන් අලගිවත්තගේ මහතා පැවසීය. කිසිදු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක තමන් නොයෙදෙන බවත් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා තම සහයෝගය ලබා දෙන බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ මුදල් භාර නිලධාරී සංගමය එහි සාමාන්‍යාධිකාරීවරයා දැනුවත් කර තිබිණි.

පාසල් දරුවන් ඊයේ (15) පාසල්වලට පැමිණීමේ සැලකිය යුතු අඩුවක් වාර්තා විය. ජාතික අධ්‍යාපන සේවක සංගමය සහ ජාතික නිදහස් ගුරු සංගමය වැඩවර්ජනයට එක් වී නොතිබිණි. බස්නාහිර සහ මධ්‍යම පළාත්වල පාසල්වල ඊයේට නියමිතව තිබූ පාසල් වාර විභාග කල් දමා තිබිණි. වැඩවර්ජනය හේතුවෙන් දරුවන්ගේ ඉගෙනුම් කටයුතුවලට සිදු වන බාධාවන් අනුමත කළ නොහැකි බවත් කොවිඩ් සහ ආර්ථික අර්බුදය නිසා ඉගෙනුම් කටයුතු අඩාළ වූ දරුවන්ට මෙවැනි වැඩවර්ජනයන් නිසා සිදු වන අසාධාරණය කනගාටුදායක බවත් මවුපියෝ ප්‍රකාශ කළහ.

කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ආයතනයන්හි රාජකාරි සහ දෛනික කටයුතු කිසිදු බිඳ වැටීමකින් තොරව සාමාන්‍ය පරිදි පවත්වාගෙන ගිය අතර, සියලුම කාර්ය මණ්ඩල සේවයට වාර්තා කර ඇති බවද එම ආයතන ප්‍රධානීන් තමන්ට දැනුම් දුන් බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා අවධාරණය කළේය.

ඒමෙන්ම ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම විසින් නිපදවනු ලබන මිශ්‍ර පොහොර ටොන් 30කට ආසන්න ප්‍රමාණයක් ඊයේ (15) දින තුළ නිෂ්පාදනය කරන ලද බවත් එමෙන්ම යූරියා පොහොර බෙදා හැරීම කිසිදු බාධාවකින් තොරව සිදු කළ බවත් එම සංස්ථා දෙකෙහි සභාපතිවරු ඇමැතිවරයා වෙත දැනුම් දී තිබේ.

නව අදහස දක්වන්න