Friday, මාර්තු 17, 2023 - 14:02
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ගොනුකර තිබෙන පෞද්ගලික පැමිණිල්ලක් බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ජුලි මස 31වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද(17) නියෝග කළේය.
එම පෙත්සම අද කැදවනු ලැබූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරන ලදි.
ඒ අනුව අදාළ පෙත්සම ජුලි මස 31 සහ අගෝස්තු මස 09 වැනි දින වල විභාගයට ගන්නා බවත් විනිසුරු මඩුල්ල නියම කළේය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය නොසලකා හැර සාපරාධී ලෙස රාජකාරිය පැහැරහැරීම සම්බන්ධයෙන් සිරිල් ගාමිණී පියතුමා ඇතුළු දෙදෙනෙකු විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පුද්ගලික පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
එම පැමිණිල්ල සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයා අදාළ පැමිණිල්ලේ සැකකරුවකු වශයෙන් නම් කර සිටින විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කර තිබුණි.
අදාල සිතාසිය නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් එය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින්‍ෛමෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
නව අදහස දක්වන්න