බිත්තර උදාහරණය | දිනමිණ

බිත්තර උදාහරණය

අලි බලා එපා වෙන්නෙත් නැත. බලි බලා එපා වෙන්නෙත් නැත. වර්ජන කර ඉවරයක් වන්නෙත් නැත. මේ නිසා එක දිගට ඒ වැඩේ කරගෙන යනවා ඇත. මේ වෘත්තීය සමිති සටනක් නොව දේශපාලන විරෝධයක් නිසා ඒ පිල බලයට පත් වන තෙක් මේ වර්ජන ඉවර වන්නේ නැත. ගිනි නිවන හමුදාව පැමිණ වතුර ගැසුවද, හොරට නිදාගෙන ඉන්න එකා ඇහැරෙන්නේ නැත. ඒක ඔහුගේ කාර්යයය. මේ වර්ජන ද එසේය. වර්ජනය හේතුවෙන් ජාතික ආර්ථිකයට දිනකට අත්විඳීමට සිදු වන පාඩුව රුපියල් බිලියන 46ක් බවත්, අධ්‍යාපනය කඩාකප්පල් වීම, මිල කළ නොහැකි පාඩුවක් බවත් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසා තිබුණි.

හැමදාම දණගෑම අවශ්‍ය වේ නම් ඒ පුද්ගලයාගේ කකුල් දෙක කැඩිය යුතුය. ළදරුවා නැඟිටින්නට වෙර දරන විට අත දෙමින් කකුල් පිරිමදිමින් දිරි දෙනු විනා කිරි නොදෙමින්, පහර දෙමින්, පොඩි එකා නැඟිටින්නේ නැහැ කිය කියා කෑගැසිය නොහැකිය. ඊයේ දිනමිණ මුල් පිටුව බැලූ විට මේ රට දිගටම දණ ගාන්නේ නැති වග පෙනේ. නවත්වන ලද ජපන් ආධාර යටතේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියට යළි පණ දීමට ඇමැති ප්‍රසන්න රණතුංග උත්සාහ ගනියි. සවුදි අරාබිය, පාකිස්තානය, හංගේරියාව සහ කුවේටය යන රටවල් ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන ණය ප්‍රතිව්‍යුහගතකරණයට අවශ්‍ය පියවර ගන්නා බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත සහතිකයක් දී ඇතැයි ද ඇමැති අලි සබ්රි සඳහන් කර තිබුණි. ලෝකයේ ස්ථාවර වන මුදල් ඒකක අතර ශ්‍රී ලංකා රුපියල එක්ව ඇතැයි Government of the planets on Twitter වෙබ් අඩවිය සඳහන් කර තිබේ.

මේ සියල්ලට වඩා වැදගත් කාරණය වී තිබෙන්නේ මෙවර මහ කන්නය සරු සාර වී තිබීමය. ‘අස්වනු පිදී, කරලින් බරවී, මුළු රට ඉතිරේ ජය පානේ...’ යන ආස්ථානයේදී සියල්ලට වඩා බිය වන්නේ ආණ්ඩු විරෝධීන්ය. එක්කෝ බිස්නස් මාෆියාවය. අලුත් අවුරුද්දට මාසයකට පමණ කලින් පරණ ස්ටොක් එක මත, අලුත් ලේබල් අලවන මුදලාලිලා කාණ්ඩයක් සිටිති. ඊළඟ තොගයට වැඩි මිලක් මේ අය එක් කරන්නේ, බඩුවේ මිල වැඩි වීම නිසා නොව අලුත් අවුරුද්ද කිට්ටු වීම නිසාය. බිත්තර මාෆියාව මාන බලන ලද්දේ, ජනවාරි සමයේදී බිත්තර මිල හැකි උපරිමයට වැඩි කරගෙන ඊළඟට අප්‍රේල් මාසයේදී තවත් පිම්මක් පැනීමටය. මේ සඳහා විශාල බිත්තර තොගයක් සඟවණු ලැබීය. සඟවා වැඩි මිලක් ඉල්ලා සිටියේය.

මේ හැරෙන්නේ ‘අවුරුදු කන්න’ බව දැනගත් වෙළෙඳ ඇමැතිවරයා, වහාම පිටරටින් බිත්තර ගෙන්වීම සඳහා කටයුතු කළේය. ඒ සඳහා අනේක විරෝධයන් මතුව ආවේය. බිත්තර ගෙන්වා නැති තත්ත්වයක් තුළ පවා සමහරු ප්‍රකාශ කරන ලද්දේ නිරෝධායනය නොකරන ලද බිත්තර, යුද හමුදාවට කෑම සඳහා ලබා දී ඇති බවය. ඒ තරමේ අමූලික බොරු වපුරා බිත්තර කටුවේ සැඟවෙන්නට බිත්තර මුදලාලිලා උත්සාහ කළහ. අවසානයේදී සඟවා ඇති බිත්තර තොග සොයා පාරිභෝගික අධිකාරිය වෙහෙස විය. ස්ථානයක් වට කර බිත්තර සඟවා ඇති හෙයින් එයට සීල් තබන්නට අදාළ නිලධාරීන්ට හැකි විය. ඒ සමඟ බිත්තර සෙල්ලම හෙළි විය. ආණ්ඩුව සමඟ බිත්තර ඇල්ලීම මුදලාලිලා හිතන තරම් පහසු නොවීය.

මහකුඹුක්කඩවල වල්පාළුව රක්ෂිතයෙන් බිත්තර ලක්ෂයක් මතු වන්නේ, මුදලාලිගේ බිත්තර ‘හූනු බිත්තර’ බවට පත් කරමිනි. අවස්ථාවාදයේ දිග පළල කොතරම් දැයි මේ බිත්තර ලක්ෂයෙන් කිව හැකිය. බඩු මිල වැඩි වූ සැණින් පාරේ යන ජනතාවට මයික් අල්ලා, ආණ්ඩු විරෝධයක් මවනා නාලිකා, මේ බිත්තර ලක්ෂය විසි කිරීමේ සැඟවුණු න්‍යාය පත්‍රය සාකච්ඡා කළේ නැත.

අතට හසු වෙන හැම දෙයක්ම ආණ්ඩු විරෝධයක් බවට සහ ව්‍යාපාරික අවස්ථාවාදයක් බවට පත් කර ගනු ලබන්නේ ආණ්ඩු පක්ෂය නොවේ. දෙසිය විසිපහම එපා කිය කියා යන එකා, සිතන්නේ, ඒ සියලු දෙනා ආණ්ඩු පක්ෂයේ බවය. තමන් කඩේ යන්නේ ද ඉන් එකෙකුට බව ඒකාට මතක නැත. නැත්නම් තමන් බලයට ගෙන ඒමට හදන්නේ ද ඒ 225 අතරට එකෙක් කියන එක, බොහෝ දෙනාට අමතකය.

දැන් අවශ්‍යව ඇත්තේ, ඔළුව උස්සන එක නතර කිරීමය. යන්තම් හෝ හිස එසවූ සැණින් දිගට හරහට පහර දෙන්නේ ආණ්ඩුව පෙරළීමටය. මේ සිංහල අවුරුද්දේ, එළවළු, හාල් සහ ආනයනික භාණ්ඩ බොහොමයක මිල අඩු වනවා ඇත. ඒ බව කල් තියා දන්නා, වමට බර ආණ්ඩු විරෝධියා වෙනත් තැනකින් ජනයා කුලප්පු කරන්නේය. ඒ දිනකට බිලියන 46 බැගින් පාඩු කළ හොත් රටට ඉදිරියක් ඇත්තෙම නැත. මේ අවස්ථාවේදී බදු බර සහ අනෙකුත් ප්‍රශ්න විසඳා ගත හැක්කේ, වැඩියෙන් වැඩ කිරීමෙන් මිස වැඩ වර්ජන කිරීමෙන් නොවේ.

නව අදහස දක්වන්න