නිල් මහ සටනේදී දසිස්-රමිරු වාර්තාගත සබඳතාවක | දිනමිණ

නිල් මහ සටනේදී දසිස්-රමිරු වාර්තාගත සබඳතාවක

නිරෝෂාන් ප්‍රියංකර

රමිරු 128 
දසිස් 137

නායක දසිස් මංචනායක සහ රමිරු පෙරේරා ශතක රැස් කරමින් ගොඩනැඟූ වාර්තාගත ද්විත්ව ශතක සබඳතාව හේතුවෙන් ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සමඟ 144 වැනි වරට පැවැත්වෙන ‘නිල් මහ සටන’ වාර්ෂික ක්‍රිකට් තරගයේ පළමු දිනයේ වැඩි ගෞරව අත් කර ගැනීමට කොළඹ රාජකීය විදුහල සමත් විය.

කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තුන්දින තරගය අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් ඊයේ පළමු දිනයට නතර කරන විට රාජකීය විදුහල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8ක් දැවී ලකුණු 326ක් රැස් කර තිබිණි.

පළමුව පන්දුවට පහර දුන් රාජකීය පිලේ මුල් පෙළ පිතිකරුවන් තිදෙනකු ලකුණු 10කට අඩුවෙන් දවා ගැනීමට අකාෂ් ප්‍රනාන්දු සහ නේතන් කල්දේරා සමත් වූ අතර, අකාෂ්ගේ පන්දුවක් හමුවේ සිව්වැනි කඩුල්ල බිඳ වැටුණේ මුළු ලකුණු 63දීය. අනතුරුව පිටියට පිවිසි නායක දසිස් මංචනායක සමඟ එක් වූ රමිරු පෙරේරා ලකුණු 229ක සබඳතාවකින් ඉනිම ලකුණු 292 දක්වා ඉදිරියට ගියේය.

මේ දෙදෙනා ගොඩනැඟූ සබඳතාව ‘නිල් මහ සටන’ වාර්තා අතරට එක් වූයේ 5 වැනි කඩුල්ලට ගොඩනැඟූ ඉහළම සබඳතාව ලෙසිනි. මින් පෙර එම කඩුල්ලේ ඉහළම ලකුණු සංඛ්‍යාව වූයේ 1953 වසරේ එක් කර තිබූ ලකුණු 187යි.

‘නිල් මහ සටන’ ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් සඳහා ගොඩනැඟුණු දෙවැනි හොඳම සබඳතාව ලෙස ද මේ සබඳතාව වාර්තා විය. එහි ඉහළම සබඳතාව ලෙස වාර්තා වන්නේ 1996 වසරේ වයි. ධර්මරත්න සහ ඒ. පොලොන්ඕවිට රාජකීය විදුහල වෙනුවෙන් 3 වැනි කඩුල්ලට වෙනුවෙන් ගොඩනැඟූ ලකුණු 254යි. ඊයේ රාජකීය ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙස දසිස් දවා ගනිමින් එම සබඳතාව නිමා කළ කවිඳු ඩයස්, ඉන් නොනැවතී රමිරු ද යළි ක්‍රීඩාගාරයට හරවා යැවුවේය. දසිස් පන්දු 150කදී හතරේ පහර 17ක් සමඟින් ලකුණු 137ක් රැස් කළ අතර, රමිරු ලකුණු 128ක් රැස් කළේ හතරේ පහර 15ක් සහ හයේ පහර 2ක් සමඟ පන්දු 186කිනි. පන්දු යැවීමේදී ආකාෂ් ප්‍රනාන්දු කඩුලු 4ක් බිඳ දැමූ අතර, කවිඳු ඩයස් කඩුලු 3ක් දවා ගත්තේය.

අද තරගයේ දෙවැනි දිනයයි.

රාජකීය පළමු ඉනිම - 326/8 (ඕවර 74) දසිස් මංචනායක 137, රමිරු පෙරේරා 128, ඕවින් අඹන්පොල 30 (ආකාෂ් ප්‍රනාන්දු 55/4, කවිඳු ඩයස් 58/3, නේතන් කල්දේරා 64/1)

ඡායාරූපය - සුදත් නිශාන්ත

 

නව අදහස දක්වන්න