‘වේලාව හරි දැන් යන්න’ කීවැයි බීලා බාර් එකට ගහලා | දිනමිණ

‘වේලාව හරි දැන් යන්න’ කීවැයි බීලා බාර් එකට ගහලා

මත්පැන් පානය කර අවසානයේ අවන් හලකට පහර දී අලාභයක් සිදු කොට පැන ගොස් සිටි බව කියන ව්‍යාපාරික සැකකරුවන් පස් දෙනෙකු මේ මස 21 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ රදවා තැබීමට අත්තනගල්ල අංක 2 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා පෙරේදා 15 පස්වරුවේ නියෝග කළේය.

අත්තනගල්ල නගරයේ ගොඩනැගිලි ද්‍රව්‍යය ව්‍යාපාරයකට සම්බන්ධ සැකකාර ව්‍යාපාරිකයින් පස් දෙනෙකු එසේ රිමාන්ඩ් කෙරිණි.අත්තනගල්ල ප්‍රදේශයේම පවත්වා ගෙන යන අවන් හලකට පහර දී රුපියල් එක් ලක්ෂ අසූ දහසක අලාභයක් සිදු කොට පැන ගොස් සිටි බව කියන සැකකාර ව්‍යාපාරිකයින් පස් අත්තනගල්ල පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබිණ.අත්තනගල්ල පොලීසියේ පොලිස් සැරයන් වීරසිංහ 57552 මහතා කරුණු දක්වමින් මෙම සැකකරුවන් පස් දෙනා තවත් පිරිසක් සමග දැනට දින කිහිපයකට පෙර මහ රෑ අවන් හලට ගොස් මත්පැන් පානය කර ඇති බව පරීක්ෂණ වලදී හෙළි වී ඇති බව කියා සිටියේය.

මොවුන් එසේ මත්පැන් පානය කරමින් සිටියදී අවන් හල වසන වේලාව පැමිණීම නිසාම එහි සේවකයින් පිරිසක් මොවුන් ඉදිරියට ගොස් අවන් හල වැසිය යුතු බැවින් මත්පැන් පානය නතර කරන ලෙස ඉල්ලා ඇති බවද පොලිස් සැරයන් වරයා කීය.

එම ප්‍රකාශයට මොවුන් උරන වී එහි සේවකයින්ට තර්ජනය කර පිටව ගොස් පසු දින 12 වනදා රාත්‍රී මොවුන් පිරිස නැවත අවන් හලට පැමිණ මත්පැන් පානය කොට අවසානයේ අවන් හලට පහර දී පලා ගොස් සිටි බවද පොලිස් සැරයන් වරයා කියා සිටියේය.එම පහර දීම හේතුවෙන් අවන් හලට රුපියල් එක් ලක්ෂ අසූ දහසක අලාභයක් සිදු වී ඇති බවත් පොලිස් සැරයන් වරයා සඳහන් කළේය.

මේ පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ පවත්වා සැකකරුවන් පස් දෙනා අත් අඩංගුවට ගත් බවත් තවත් සැකකරුවන් පිරිසක් සැගවී සිටින හෙයින් ඔවුන් අත් අඩංගුවට ගැනීම සඳහා වැඩිදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යන බවද පොලිස් සැරයන් වරයා කියා සිටියේය.

පොලීසියේ කරුණු දැක්වීම් වලින් අනතුරුව එසේ සැකකරුවන් පස් දෙනා රිමාන්ඩ් භාරයේ රදවා තැබීමට නියෝග කෙරිණි.නැවත කැදවීම මේ මස 21 වනදාට කල් තැබිණ.සැකකරුවන් වෙනුවෙන් නීතීඥ හරිත් හෙට්ටිආරච්චි මහතා හා නීතීඥ සිතාරා මීමන මහත්මිය පෙනී සිටියහ.පැමිණිල්ල වෙනුවෙන් නීතීඥ ශෂිකලා වනිගසුන්දර මහත්මිය පෙනී සිටියාය.අත්තනගල්ල පොලිස්ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යසේන්ද්‍ර නාලක මහතාගේ උපදෙස් පරිදි එහි පොලිස් සැරයන් වීරසිංහ 57552 මහතා පැමිණිල්ල මෙහෙය.

වේයන්ගොඩ විශේෂ

නව අදහස දක්වන්න