කොළඹ සමාජ ශාලාවක වේටර්වරයකු ළඟ ‘මෙන්ඩි’ | දිනමිණ

කොළඹ සමාජ ශාලාවක වේටර්වරයකු ළඟ ‘මෙන්ඩි’

රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා මෙන්ඩි නමැති දුර්ලභ වර්ගයේ මත්ද්‍රව්‍ය සමඟ කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ සමාජ ශාලාවක වේටර්වරයකු පෙරේදා (16) රාත්‍රී අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි. සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක ප්‍රියදර්ශන විතානගේ මහතාට ලද තොරතුරකට අනුවය.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ එම්.ඩි.එම්.ඒ නමැති විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙන්ඩි නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 ක් සොයාගැනීමට හැකි වූ බව පොලිසිය කියයි. මෙන්ඩි මත්ද්‍රව්‍ය ඩාන්සින් පෙති නිෂ්පාදනයට යොදා ගන්නා විශේෂිත මත් ද්‍රව්‍යයක් බව පොලිස් නිලධාරියකු පැවැසීය.

මෙන්ඩි මත්ද්‍රව්‍ය දියර වශයෙන් පානය කළ හැකි බවත් ඊට අමතරව ශරීරයට එන්නත් කරගැනීමට හැකි බවත් එම නිලධාරියා කීය.

රාත්‍රී සමාජ ශාලාවල මෙම මත්ද්‍රව්‍ය විශේෂිත ඉල්ලුමක් පවතින අතර ඒ හේතුවෙන් ග්‍රෑම් එකක් රුපියල් 20000ක පමණ මුදලකට අලෙවි වන බවත් මෙරටට දුර්ලභ මත්ද්‍රව්‍යයක් වීම හේතුවෙන් දැඩි ඉල්ලුමක් ද පවතින බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට වෙත ඉදිරිපත් කර දින හතක රැඳවුම් නියෝග ලබා ගෙන දීර්ඝ විමර්ශනයක් සිදු කිරීමට කටයුතු කරන බවත් එම නිලධාරියා කීය.අත්අඩංගුවට ගත් සැකකරු වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තිහක පුද්ගලයෙකි.

කොළඹ දකුණු කොට්ඨාස වැඩබලන ජේෂ්ඨ පොලිස් අධිකාරි ඒ රණසිංහ, සහකාර පොලිස් අධිකාරී (3) චානක අබේසිරිවර්ධන මහත්වරුන්ගේ උපදෙස් මත බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක පියදර්ශන විතානගේ,පොලිස් පරීක්ෂක කපිල දිසානායක,දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයමාල්,උප පොලිස් පරීක්ෂක වික්‍රමරත්න පොලිස් සැරයන්70361 බණ්ඩාර මහත්වරු පරීක්ෂණ පවත්වයි.

බණ්ඩාරගම-බිමල් ජයසිංහ

නව අදහස දක්වන්න