නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා ජ්‍යෙෂ්ඨ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් සහ විස්සයි20 තරගාවලිය සඳහා කුසල් ජනිත් පෙරේරා කැඳවමින් තරගාවලි ද්විත්වයට එක් වන සංචිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.
මේ සංචිත ද්විත්වය සඳහා ක්‍රීඩකයන් 18 දෙනකු බැගින් නම් කර ඇති අතර, කණ්ඩායමේ දෙකෙම නායකයා ලෙස දසුන් ශානක කටයුතු කරයි.
වසර 2කට පසුව මැතිව්ස් එක්දින සංචිතයට කැඳවීම විශේෂත්වයක් වන අතර, ඔහු අවසන් වරට බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව එරටේදී තරගයකට එක් වූයේ 2021 වසරේ මාර්තු 10 වැනිදාය. විස්සයි20ට කැඳවා ඇති කුසල් ජනිත් පෙරේරා ද අවසන් වරට 2021 වසරේ කොදෙව් පිලට එරෙහිව ක්‍රීඩා කර ඇති අතර, ඒ නොවැම්බර් මස අබුඩාබියේදීය.
ආබාධයක් හේතුවෙන් ටෙස්ට් තරගාවලිය අහිමි වූ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක මේ සංචිත ද්විත්වයටම කැඳවා ඇති අතර, සධීර සමරවික්‍රම සහ නුවනිඳු ප්‍රනාන්දු ද සංචිත දෙකටම ඇතුළත් කර තිබේ.
ශල්‍යකර්මයෙන් පසු දුෂ්මන්ත චමීර තව දුරටත් පුනරුත්ථාපන කටයුතුවල යෙදෙන බැවින් මේ තරගාවලි ද්විත්වය අහිමි වන අතර, ඔහු වෙනුවට එක්දින සංචිතය සඳහා මතීෂ පතිරණද, විස්සයි20 සඳහා ප්‍රමෝද් මදුෂාන් ද කැඳවා තිබේ.
නවක ක්‍රීඩක සහන් ආරච්චිගේ පළමු වරට එක්දින සංචිතයට ඇතුළත් කර ඇති අතර, විස්සයි20 තරගාවලියට ලසිත් කෲස්පුල්ලේ කැඳවා ඇත. සංචිත දෙකටම ඇතුළත් නුවනිඳු ද තවමත් විස්සයි20 තරග වරම් හිමි කර ගෙන නැත.
ශ්‍රී ලංකා - නවසීලන්ත තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය පැවැත්වෙන්නේ මේ මස 25, 28 සහ 31 දිනවල පිළිවෙළින් ඕක්ලන්ඩ්, ක්‍රයිස්ට්චර්ච් සහ හැමිල්ටන්හිදී පැවැත්වීමට නියමිත අතර, තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය ලබන 2 වැනිදා ඕක්ලන්ඩ්හිදී ආරම්භ වෙයි. එහි දෙවැනි තරගය 5 වැනිදා ඩුනේඩීන්හිදීත් අවසන් තරගය 8 වැනිදා ක්වීන්ස්ටවුන්හිදීත් පැවැත්වේ.
එක්දින සංචිතය - දසුන් ශානක (නායක), පැතුම් නිශ්ශංක, නුවනිඳු ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස් (උප නායක), ඇන්ජලෝ මැතිව්ස්, චරිත් අසලංක, සධීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා, සහන් ආරච්චිගේ, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, ළහිරු කුමාර, ප්‍රමෝද් මදුෂාන්, ඩිල්ෂාන් මධුශංක, චාමික කරුණාරත්න, මතීෂ පතිරණ.
විස්සයි20 සංචිතය - දසුන් ශානක (නායක), පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, කුසල් ජනිත් පෙරේරා, ලසිත් කෲස්පුල්ලේ, සධීර සමරවික්‍රම, නුවනිඳු ප්‍රනාන්දු, වනිඳු හසරංග (උප නායක), මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, කසුන් රාජිත, ළහිරු කුමාර, ඩිල්ෂාන් මධුශංක, චාමික කරුණාරත්න, මතීෂ පතිරණ, ප්‍රමෝද් මදුෂාන්.
නිරෝෂාන් ප්‍රියංකර
නව අදහස දක්වන්න