දඹුල්ලට පිට පිට තෙවැනි ජය | දිනමිණ

දඹුල්ලට පිට පිට තෙවැනි ජය

මිනෝද්ගෙන් සහ අශේන්ගෙන් ශතක

ශ්රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන නැෂනල් සුපර් ලීග් (NSL) එක්දින ක්‍රිකට් තරගාවලියේ පිට පිට තෙවැනි ජය වාර්තා කිරීමට මිනෝද් භානුක නායකත්වය දෙන දඹුල්ල කණ්ඩායම ඊයේ සමත් විය.

මහනුවර කණ්ඩායම සමඟ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවති තරගය කඩුලු 7කින් ජය ගනිමින් දඹුලු ක්‍රීඩකයෝ තෙවැනි ජය වාර්තා කළහ.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් මහනුවර පිල ලකුණු 215කින් නතර කළ දඹුලු ක්‍රීඩකයෝ ඕවර 37.4කදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 3ක් පමණක් අහිමි කර ගනිමිනි.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ මිනෝද් භානුක පන්දු 87කින් ලකුණු 104ක් රැස් කළේ හතරේ පහර 15ක් සමඟිනි. අභිෂේක් ලියනාරච්චි ලකුණු 43ක් රැස් කළ අතර, දෙදෙනා අතර පළමු කඩුල්ලට ගොඩනැඟූ සබඳතාව ලකුණු 94කි. වනිඳු හසරංග වේගවත් ලකුණු 21ක් රැස් කළේ පන්දු 9කිනි.

පළමුව පන්දුවට පහර දුන් මහනුවර පිල වෙනුවෙන් සඳුන් වීරක්කොඩි (67) සහ සහන් ආරච්චිගේ (53) අර්ධ ශතක රැස් කළහ. පන්දු යැවීමේදී ළහිරු සමරකෝන් කඩුලු 4ක් බිඳ දැමූ අතර, නුවන් තුෂාර සහ වනිඳු හසරංග කඩුලු 2ක බැගින් දවා ගත්හ.

ගාල්ලට පළමු ජය

මේ තරගාවලියේ පිට පිට තරග දෙකක් පරාජය වූ ගාල්ල කණ්ඩායම ඊයේ සිය පළමු ජය වාර්තා කිරීමට සමත් විය. කොළඹ කණ්ඩායම සමඟ දඹුල්ලේ පැවති තරගය ගාල්ල ජය ගත්තේ කඩුලු 7කිනි.

තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් කොළඹ පිල දුන් ලකුණු 282ක ඉලක්කය හඹා ගිය ගාලු ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී තිබියදී ජය හිමි කර ගත්තේ ඕවර 47කදීය.

ගාලු ජයග්‍රහණය වෙනුවෙන් මොහොමඩ් ශමාස් (65), ධනංජය ලක්ෂාන් (61), පසිඳු සූරියබණ්ඩාර (53) සහ පැතුම් කුමාර (54) අර්ධ ශතක රැස් කළහ. පන්දු යැවීමේදී දසුන් ශානක කඩුලු 3ක් දවා ගත්තේය.

පළමුව පන්දුවට පහර දුන් කොළඹ පිල වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අශේන් බණ්ඩාර පන්දු 114කින් ලකුණු 101ක් රැස් කළේ හතරේ පහර 6ක් සමඟිනි. සහන් ජයතිලක ලකුණු 67ක් රැස් කළ අතර, නායක දසුන් ශානකගේ ඉනිම ලකුණු 48කට සීමා විය. කුසල් ජනිත් පෙරේරාට රැස් කළ හැකි වූයේ ලකුණු 17ක් පමණි. පන්දු යැවීමේදී ඩිල්ෂාන් මධුශංක කඩුලු 2ක් දවා ගත්තේය.

දඹුල්ලට කඩුලු 7ක ජයක්

මහනුවර - 215/8 (ඕවර 47.5) සඳුන් වීරක්කොඩි 67, සහන් ආරච්චිගේ 53 (ළහිරු සමරකෝන් 39/4, නුවන් තුෂාර 27/2, වනිඳු හසරංග 40/2)

දඹුල්ල - 219/3 (ඕවර 37.4) මිනෝද් භානුක 104, අභිෂේක් ලියනාරච්චි 43

ගාල්ලට කඩුලු 7ක ජයක්

කොළඹ - 281/9 (ඕවර 50) අශේන් බණ්ඩාර 101, සචිත ජයතිලක 67, දසුන් ශානක 48, චරිත් අසලංක 42 (ඩිල්ෂාන් මධුසංක 58/2)

ගාල්ල - 282/3 (ඕවර 47) මොහොමඩ් ශමාස් 65, ධනංජය ලක්ෂාන් 61, පැතුම් කුමාර 54, පසිඳු සූරියබණ්ඩාර 53 (දසුන් ශානක 32/3)

 

නිරෝෂාන් ප්‍රියංකර

 

නව අදහස දක්වන්න