කසළ ගොඩින් දුරකතන අංකය අරන් හිමිකරු සොයා 5000ක් දඩ ගහලා | දිනමිණ

කසළ ගොඩින් දුරකතන අංකය අරන් හිමිකරු සොයා 5000ක් දඩ ගහලා

කසළ ගොඩින් මතුවූ දුරකතන අංකය සහිත බෙහෙත් තුණ්ඩුවෙන් අකුරැස්ස නගර මධ්‍යයේ රහසිගතව නගරයේ කසළ බැහැර කළ පුද්ගලයා හඳුනාගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමත්වී ඇත.

අකුරැස්ස සහ අතුරලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස දෙක ඒකාබද්ධව බහුජන සංවිධානවල දායකත්වයෙන් ඩෙංගු මර්දන වැඩසටහන් කිහිපයක් පැවැත්වූහ. ඊට සමගාමීව ඉකුත් 07 වැනිදා අකුරැස්ස නගරයේ අලුත් පාරේ කුණු කසළ ඉවත්කර ශුද්ධ පවිත්‍ර කළහ. ඊට පසුදින නගරයේ අලුත් පාරේ ප්‍රධාන මාර්ගයේ පසෙක විශාල කසළ ගොඩක් බැහැර කර තිබූ අයුරු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නිරීක්ෂණය වී තිබුණි.

කසළ ගොඩ පරීක්ෂා කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට එහි තිබූ බෙහෙත් තුණ්ඩුවක සටහන්ව තිබූ දුරකතන අංකයක් හසුවූයෙන් උපක්‍රමශීලිව එහි තිබූ දුරකතන අංකයට ඇමතුමක් දීමෙන් කසළ ගොඩේ අයිතිකරු හඳුනාගැනීමට ඔවුන් සමත්ව ඇත. ඒ අනුව වයස අවුරුදු 50ක පමණ අකුරැස්ස, පානදුගම ප්‍රදේශයේ පුද්ගලයෙකු තමන් විසින් බැහැර කරන ලද කසළ බවට වරද පිළිගෙන තිබුණි.

අකුරැස්ස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ ඔහුට විරුද්ධව නඩු පවරන ලදුව රුපියල් 5000/= දඩ මුදලක් නියම කෙරිණ.

 

විජිත සල්ගාදු - අකුරැස්ස මධ්‍යම විශේෂ

නව අදහස දක්වන්න