මුදල් මණ්ඩලය වෙනුවට අලුත් මණ්ඩල දෙකක් | දිනමිණ

මුදල් මණ්ඩලය වෙනුවට අලුත් මණ්ඩල දෙකක්

නව මහ බැංකු පනතින් මෙතෙක් පැවති මුදල් මණ්ඩලය වෙනුවට පාලක මණ්ඩලය සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ලෙස නව මණ්ඩල දෙකක් ඇති කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

යෝජිත “ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පතේ සුවිශේෂ කරුණු” මැයෙන් කොළඹ රාජගිරිය මහ බැංකු ශ්‍රවණාගාරයේ ඊයේ (16) සවස පැවති විශේෂ දේශනයකට සහභාගි වෙමින් අධිපතිවරයා මේ බව කියා සිටියේය.

දැනට මුදල් මණ්ඩලයේ නිල වශයෙන් සාමාජිකත්වය දරන මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා යෝජිත නව පනත අනුව ඉන් ඉවත් කොට ඇත. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, මහ බැංකු අධිපතිවරයා ප්‍රමුඛව දැනට මුදල් මණ්ඩලයේ සාමාජිකත්වය පස් දෙනෙකි. අලුතින් පිහිටුවීමට යෝජිත පාලක මණ්ඩලය සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයන් ගණන 11ක් වන බවද මහ බැංකු අධිපතිවරයා පැවසීය.

මුදල් මණ්ඩලයට සාමාජිකයන් පත් කිරීමේදී මුදල් ඇමැතිවරයාගේ නිර්දේශය මත සිදු කළ ක්‍රියාවලිය වෙනුවට සුදුසුකම් ලත් මූල්‍ය‍, තාක්ෂණ, ආර්ථික ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තිකයන් සහ කුසලතාවන්ගෙන් පිරි සාමාජිකයන් පත් කිරීමට පාර්ලිමේන්තුවට, ව්‍යවස්ථාදායක සභාවට හැකි වන ලෙස බලතල පුළුල් කොට ඇත. ඒ අනුව වඩාත් ස්වාධීන සහ ශක්තිමත් ආයතනයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව පත් කිරීමට නව පනතින් මුලපුරා ඇතැයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවීමේ මුදල් නීති පනත වසර 70ක කාලය පුරා සංශෝධනය කර තිබෙනුයේ වසර 2002දී බව සිහිපත් කළ මහ බැංකු අධිපතිවරයා නව ලොවට ගැළපෙන ජාත්‍යන්තරව පිළිගත් මුදල් නීති පනතක් අනුව මහ බැංකුව ස්වාධීන ආයතනයක් බවට පත් කිරීමට නව පනත ඉදිරිපත් කොට ඇති බව කීය. එය වසර 2019දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබේ. එදා මෙදාතුර එය ක්‍රියාවට නැංවීමට හැකි වී නැත. ඒ අනුව නැවත වතාවක් මෙවර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබෙන පනත පාර්ලිමේන්තු බහුතර කැමැත්තකින් සම්මත කරගැනීම ඉදිරියේදී සිදු වනු ඇතැයි මහ බැංකු අධිපතිවරයා පැවැසීය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන කාර්යයන් සිහිපත් කළ මහ බැංකු අධිපතිවරයා මිල ස්ථායිතාව සහ මූල්‍ය පද්ධති ස්ථායිතාව ඇති කිරීම ඒවා බව කීය. එහෙත් ඉතිහාසය පුරා සැලකිය යුතු ලෙස මේ අරමුණු ජය ගැනීමට නොහැකි වී තිබීම නිසා නව බැංකු පනත හරහා පෙරදාටත් වඩා ආර්ථික සහ මිල ස්ථායිතාව මෙන්ම මූල්‍ය පද්ධති ස්ථායිතාව පවත්වාගෙන යෑම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව වඩාත් ස්වාධීන ආයතනයක් බවට පත් කිරීම සඳහා නව බැංකු පනත ඉදිරිපත් කොට ඇතැයි මහ බැංකු අධිපතිවරයා පැවසීය.

ලෝකයේ පිළිගත් ක්‍රමවේදයකට අනුව නම්‍යශීලි උද්ධමන ඉලක්ක කරන වැඩපිළිවෙළකට අනුව යමින් උද්ධමනය පාලනය කිරීම, විදේශ විනිමය අනුපාතික වෙළෙඳපොළ ඉල්ලුම සැපයුම අනුව සිදු කිරීමට ඉඩ දීම ස්වාධීන මහ බැංකුවක කාර්යභාරයයි.

ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය ප්‍රතිපත්තිය හසුරුවන අතර, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය හැසිරවීම මුදල් අමාත්‍යාංශය යටතේ සිදු කෙරේ. මූල්‍ය ප්‍රතිපත්තිය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය එකිනෙකට වෙනස් කරුණු දෙකක්. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය යනු බදු ගෙවන්නන්ගේ මුදල් සම්බන්ධයෙන් කටයුතු කරන ප්‍රතිපත්ති මාලාවයි. රජය එය සිදුකළ යුතුයි. ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කරන්නේ රටේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමයි. අපේ රටේ තැන්පත්කරුවන්ගේ මුදල් ඇතුළු අනෙකුත් සියලු මුදල් කටයුතු ගැන වග වීම සහ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තියට අනුව සිදු විය යුතුය. එය සිදු කිරීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවට කිසිදු ආකාරයක දේශපාලන බලපෑමක් වෙනයම් බලපෑමක් සිදු නොවිය යුතුය. එවැනි දෙයක් සිදු කිරීම සඳහායි නව බැංකු පනත තිබෙන්නේ යැයි මහ බැංකු අධිපතිවරයා පැහැදිලි කළේය.

නව බැංකු පනත මඟින් මහ බැංකුව දේශපාලනකරණයට ලක් වන්නේ දැයි මේ අවස්ථාවට එක් වූ අයකු නැඟූ පැනයකට පිළිතුරු දුන් මහ බැංකු අධිපතිවරයා, එවැන්නක් මීට පෙර සිදුව තිබෙන්නට ඇති මුත් නව පනත මඟින් එවැන්නක් සිදුවීමට තිබෙන ඉඩකඩ අසුරා ඇතැයි කීය. නව බැංකු පනත මඟින් අධිරාජ්‍යවාදීන්ගේ, බටහිර බලවේගයන්ගේ බලපෑමට හා යටත්වීම්වලට මහ බැංකුව ලක්වන බවට නඟන චෝදනාව සම්පූර්ණයෙන් බැහැර කරන බව ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

ස්වාධීනව ගොඩනඟන ආයතන වග කියනුයේ කාටදැයි යන්න පිළිබඳව පැහැදිලි අදහසක් නැතැයිද එසේ වන්නේ කුමක් නිසා දැයිද අයකු නැඟූ පැනයකට පිළිතුරු දුන් මහ බැංකු අධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය ගනු ලබන තීන්දු තීරණ පිළිබඳ වග කියන්නේ කාටදැයි ඔබම සොයා බලන්නැයි ඔහුගෙන් ඉල්ලීමක් කළේය. එම නිසා ස්වාධීන ආයතනවල කටයුතු එහි ප්‍රධානීන් විසින් වගවීම සහ වගකීම ඔස්සේ ක්‍රියාවට නංවන බව කීය. එහෙත් කිසිවකු නීතියට පිටින් සිදු කළ හොත් ඔහුට විරුද්ධව අපරාධ නඩු විධිවිධාන අනුව කටයුතු කිරීමට පනතින් ප්‍රතිපාදන දී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති සිරිකුමාර කුඩාගම, ආර්ථික පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය පී.කේ.ජී. හරිශ්චන්ද්‍ර මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.

ජයසිරි මුණසිංහ

නව අදහස දක්වන්න