කැනඩාවේ මැතිවරණයට මැදිහත් වූ බවට චීනයට චෝදනා | දිනමිණ

කැනඩාවේ මැතිවරණයට මැදිහත් වූ බවට චීනයට චෝදනා

කැනඩාවේ පසුගිය මැතිවරණ දෙකකට චීනය මැදිහත් වූ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධව පුළුල් පරීක්ෂණයක් පවත්වන්නැයි එරට විදේශ ඇමැතිනි මෙලනි ජොලි රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කැනඩාව විදේශ අත පෙවීම් කිසිදින නොඉවසන බවත් ඇය චීන විදේශ ඇමැතිවරයාට ප්‍රකාශ කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

කැනඩාවේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ අභ්‍යන්තර කටයුතුවලට කිසිදු ආකාරයක විදේශ මැදිහත්වීමක් කැනඩාව කිසිවිටෙකත් නොඉවසන බව එරට විදේශ ඇමැතිනි ප්‍රකාශ කර ඇත්තේ පසුගියදා ඉන්දියාවේදීය.

ඉන්දියාවේ නවදිල්ලි නුවරදී G20 සමුළුවට සමගාමිව පැවැති විදේශ ඇමැතිවරුන්ගේ රැස්වීමේදී ඇය චීන විදේශ ඇමැතිවරයාට මේ බව ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත් පසුගියදා කැනඩාවේ අගමැති ජස්ටින් ටෘඩෝ ප්‍රකාශ කළේ චීනය අනවශ්‍ය අයුරින් කැනඩාවේ මැතිවරණයට මැදිහත් වූවද, මැතිවරණ ප්‍රතිඵල වෙනස් නොකළ බවය. මේ චෝදනාව ප්‍රතික්ෂේප කරමින් චීන විදේශ ඇමැතිවරයා සඳහන් කර ඇත්තේ කිසිදු රටක මැතිවරණයකට අනවශ්‍ය ලෙස අතපෙවීමට චීනයට අවශ්‍යතාවක් නැති බවය.

 

නව අදහස දක්වන්න