81 වැනි වියට පා තබන අස්ගිරි මහනාහිමි | දිනමිණ

81 වැනි වියට පා තබන අස්ගිරි මහනාහිමි

අනුබුදු2 මිහිඳු මහරහතන් වහන්සේ ක්‍රි.පූ. 236 වැන්නේදී අනුරපුර දේවානම්පියතිස්ස මහ රජු දවස, ලක්දිවට හඳුන්වා දුන් නිර්මල බුදුදහම හා බුද්ධ කාලීන විනයධර උපාලි මහරහතන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවෙන් අවිච්ඡින්නව පැවතීගෙන එන ථෙරීය ශාසනික සම්ප්‍රදාය සුරක්ෂිත කොට මනාව රැක ගැනීමෙහිලා අස්ගිරි මහාවිහාර සඟ පරපුරෙන් ඉටු වී ඇත්තේ අනුපමේය මෙහෙයකි.

ඇතුගල්පුර සිවුවන පරාක්‍රමබාහු මහ රජුගේ නියමයෙන් ශ්‍රීවර්ධන සෙනෙවිරත් නමැති අය විසින් කටුබුළු දනව්වෙහි කරවන ලද අස්ගිරි වන සෙනසුනෙහි රාජ්‍ය වර්ෂ 1312 වැන්නේ වෙසක් පුන් පොහෝ දිනයේදී යාපහුවේ අච්ඡගිරියෙහි විසූ දඹදෙණියේ වනරතන මාහිමි ප්‍රධාන මීගස්වැවේ මේධංකර, හිරිපිටියේ කාශ්‍යප, කෝන්ගස්වැවේ ධම්මකිත්ති, වලස්වැවේ උපතිස්ස යන අතිරේක පංචවග්ගික සංඝයා වහන්සේ හා වේරවෙල කෝලිත සාමණේර හිමිගෙන් අස්ගිරි සඟ පරපුර ආරම්භ විය. කාලයාගේ ඇවෑමෙන් ලක්දිව උපසම්පදා භික්ෂූන් අතුරුදන්ව සසුන පිරිහෙමින් තිබෙනු දැක ඉන් මුදා ගැනීම සඳහා බෝධිසත්ව ගුණෝපේත වැලිවිට අසරණ සරණ සරණංකර හිමි, කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජුගේ නොමඳ සහාය හා දායකත්වය ලබා ව්‍යවහාර වර්ෂ 1753දී සියම් දේශයෙන් ප්‍රවර උපාලි මහතෙරුන් ප්‍රමුඛ පිරිස මෙහි වැඩමවා ශ්‍යාමෝපසම්පදා විනයකර්මය ලක්දිව පිහිටුවීමට කටයුතු කරන ලදි. එහිදී මෙරටට උපසම්පදා විනයකර්මය ලබා දෙන ලෙස ඉල්ලා සියම් දේශයේ ධාර්මික නම් රජතුමා වෙත මාගධී භාෂාවෙන් රචනා කොට යවන ලද රාජ සංදේශය අස්ගිරි මහා විහාරයේ එවකට වැඩ සිටි සාමණේරයන් වහන්සේලා අතුරෙන් භාෂා ශාස්ත්‍ර දැනුමෙන් අනූනව සිටි ගොලැහැන්වත්තේ ධම්මදස්සී හිමියන් මාගධී භාෂාවෙන් රචනා කරනු ලැබූවක් බව ප්‍රකටය. වැලිවිට අසරණ සරණ සරණංකර මාහිමියන්ගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක් වශයෙන් සියම් දේශයෙන් වැඩම කළ ප්‍රවර උපාලි මහ තෙරුන් ප්‍රධාන සඟ පිරිස ව්‍යවහාර වර්ෂ 1753 වැන්නේ ඇසළ පුර පසළොස්වක දින මල්වතු විහාරයීය සීමා මාලකයේදී එවකට වැඩ සිටි ලාංකේය සාමණේරයන් වහන්සේලා අතුරෙන් කොබ්බෑකඩුවේ, වැලිවිට, හුලංගමුවේ, බඹරදෙණියේ, තිබ්බටුවාවේ යන සාමණේර පිරිස මල්වතු විහාරයෙන් ද, අස්ගිරි විහාරයෙන් නාවින්නේ සාමණේරයන් වහන්සේ ද පළමුව උපසම්පදා විනයකර්මයෙහි පිහිටුවන ලදි.

මෙම උපසම්පදා විනයකර්මයෙන් පසුව එළැඹි පසුවස් වසන දිනයේදී කීර්ති ශ්‍රී රාජසිංහ මහරජු සඟ සසුනේ තිරපැවැත්ම හා මනා පාලනය අරභයා සංඝරාජ පදවියට සුදුසු වටාපතක් හා මහානායක පදවියට සුදුසු වටාපත් දෙකක් ගෙන්වා මල්වතු අස්ගිරි උභය විහාරය ඇතුළු සමස්ත ලාංකේය සඟ පරපුරේ රජු ලෙස වැලිවිට අසරණ සරණ සරණංකර සඟ රජ හිමියන්ට වටාපත පිළිගන්වා සඟ රජ පදවියට පත් කොට, මල්වතු අස්ගිරි උභය විහාරයන්හි මහානායක පදවි දෙකට මල්වතු විහාරය වෙනුවෙන් තිබ්බටුවාවේ බුද්ධරක්‍ෂිත නාහිමියෝ සහ අස්ගිරි විහාරය වෙනුවෙන් උරුලෑවත්තේ ධම්මදස්සී නාහිමියෝ පත් කරනු ලැබූහ.

එතැන් පටන් වර්තමානය දක්වා වැඩ සිටි අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ සෑම මහානායක මාහිමිපාණන් වහන්සේ නමකගෙන්ම ඉටු වූ ලෝක ශාසනික සේවාව අපමණය. විශේෂයෙන් මෑත භාගයේ වැඩවිසූ පලීපාන චන්දානන්ද මහනාහිමිපාණන් වහන්සේ, උඩුගම බුද්ධරක්ඛිත මහාහිමිපාණන් වහන්සේ, ගලගම අත්ථදස්සී මහනාහිමිපාණන් වහන්සේ වැනි උත්තරීතර මහානායක මාහිමිපාණන් වහන්සේගෙන් රට, ජාතිය, ආගම, සමාජ, දේශපාලන, භාෂා හා ධර්ම ශාස්ත්‍ර ආදී යන කරුණු සම්බන්ධයෙන් ඉටු වූයේ අනුපමේය සේවයකි. උන්වහන්සේ විසින් රටට, දැයට, සමයට ඉටුකරන ලද මෙහෙය එඩිතරව, නොබියව, කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව ඉටු කරන ලද සේවාවක් බව අදටත් කාටත් සිහිපත් වේ.

අද වන විට අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහපදවිය හොබවන වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහනාහිමිපාණන් වහන්සේ ස්වකීය පාර්ශ්වයේ පූර්වයෙහි වැඩ විසූ සියලු මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ සසුන්මඟ මැනවින් අවබෝධ කොටගෙන තම විහාර පාර්ශ්වයේ චිරාගත සාම්ප්‍රදායික චාරිත්‍ර ධර්ම හා ශාසනික වත්පිළිවෙත් මනාව සුරකිමින් විනීත, විශාරද, ව්‍යක්ත, බහුශ්‍රැත, නවලොව්තුරු දහමට අනුරූප වූ ධර්මානුධර්ම පටිපන්නාදී භික්ෂුවක තුළ පැවැතිය යුතු උත්තරීතර ගුණාංගයන්ගෙන් පරිපූර්ණව ලක්දිව සසුන් කෙත සරු කරන ගෞරවනීය මහානායක මාහිමිපාණන් වහන්සේ නමක් වශයෙන් සාදුජනයන්ගේ මහත් සම්භාවනාවට පාත්‍රව වැඩ සිටින්නාහ.

අප මහනාහිමිපාණන් වහන්සේගේ 81 වන ජන්ම දිනය අද (18) දිනට යෙදී ඇත. උන්වහන්සේගේ ජන්ම ලාභය සිදු වූයේ රාජ්‍ය වර්ෂ 1942 වැන්නේ මාර්තු මස 18 වැනිදාය. ස්වකීය මාපියන්ගේ ධර්මකාමී, ශාසන හිතකාමී ගුණධර්මයන්ට අනුකූලව හැදුණු වැඩුණු උන්වහන්සේට ගමේ විහාරස්ථානයේ ඇසුර නොමඳව ලැබිණ. එනිසාම උන්වහන්සේ පැවිදි ජීවිතය කෙරෙහි මහත් අභිරුචියක් දැක්වූහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් රාජ්‍ය වර්ෂ 1955 අප්‍රේල් මස 07 වැනි දින අස්ගිරි මහාවිහාරයීය මංගල උපෝසථාගාරයේදී වරකාගොඩ ඤාණරතන නාමයෙන් පැවිදි භූමියට ඇතුළත් වූහ. උන්වහන්සේ ඒ උතුම් පැවිදි ජීවිතයට එළැඹ ස්වකීය පැවිදි ආචාර්යයන් වහන්සේලා ඇසුරෙහි නිසි බණදහම් හා වත්පිළිවෙත් උගෙන විසි වයස් සම්පූර්ණ වූ කල්හි 1962 ජූලි මස 09 වැනි දින අස්ගිරි මහා විහාරයීය මංගල උපෝසථාගාරයේදී අධිසීල සංඛ්‍යාත උපසම්පදා සීලයෙහි පිහිටියාහ. මූලික හා උසස් අධ්‍යාපනය පිරිවෙන් තුළින් ලබා ගනිමින් ධර්ම ශාස්ත්‍රීය හා ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර මැනවින් උගෙන රාජකීය පණ්ඩිත උපාධිය දිනා ධර්ම ශාස්ත්‍රීය හා භාෂා ශාස්ත්‍ර දැනුමෙන් සුපෝෂිත විය. උන්වහන්සේ 1971දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ද දිනා ගත්හ.

උන්වහන්සේ රජයේ පාසල් කිහිපයකම ගිහි පැවිදි සිසුන් බොහෝ දෙනකුට ධර්ම ශාස්ත්‍රීය හා භාෂා ශාස්ත්‍රීය දැනුම බෙදා දෙමින් විනයගරුක දැහැමි සිසු පිරිසක් රටට දායාද කිරීමට වෙහෙස නොබලා කටයුතු කළ බැවින් ගුරු ශිෂ්‍ය දෙපක්ෂයම උන්වහන්සේ කෙරෙහි දැක්වූයේ මහත් ළෙන්ගතුකමක් හා ගෞරවයකි. ධර්ම ශාස්ත්‍රීය දැනුමෙන් පෝෂණය වූවා පමණක් නොව, අස්ගිරි මහා විහාර සංඝ මූලස්ථානයේ චාරිත්‍ර හා කාර්යභාරයන් පිළිබඳ මනා අවබෝධයක් හා ක්‍රියාකාරී පුහුණුවක් ලැබූ උන්වහන්සේගේ ශාසනික ජීවිතය පිළිබඳව පැහැදුණු අස්ගිරි මහානායක පරපුරේ විශිෂ්ටතම මහානායක මාහිමිපාණන් වහන්සේ නමක් වූ පලීපාන චන්දානන්ද මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් 1990 නොවැම්බර් මස 29 වන දින අස්ගිරි මහාවිහාර විංශද්වර්ගික කාරක සංඝ සභිකයකු වශයෙන් පත් කරනු ලැබූහ. එතැන් සිට උන්වහන්සේ අස්ගිරි රාජපූජිත කාරක මහා සංඝ සභාවේ ගෞරවනීය අනන්‍යතාව හා කීර්තිනාමය ආරක්ෂා කර ගනිමින් සියලු ශාසනික කටයුතුවල මැනවින් යෙදී සිටීමේ ප්‍රතිඵලයක් වශයෙන් අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ උත්තරීතර මහපදවිය වූ අතිගෞරවනීය මහානායක පදවියෙන් පිදුම් ලැබීමට ද වාසනාවන්ත වූහ.

අප මහනාහිමිපාණන් වහන්සේ තම පාර්ශ්වයේ භික්ෂූන් වහන්සේට මෙන්ම අවශේෂ විහාර පාර්ශ්වයන්හි පොදු කටයුතුවලදී නිකාය භේදයකින් තොරව කටයුතු කරමින් ඒ සැමගේ සිත් දිනාගෙන ශාසනික යුතුකම් ඉටු කිරීමට නිතර කටයුතු කරන්නාහ. මෙසේ සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම හා අභිවර්ධනය පිණිස ස්වකීය කාලය හා ජීවිතය කැප කොට ඇති උන්වහන්සේට තවදුරටත් එම උතුම් මහපදවියේ ගෞරවය ආරක්ෂා කර ගනිමින් වඩ වඩාත් ලෝක ශාසනික සේවාවක් ඉටු කිරීමට ත්‍රිවිධ රත්නයේ හා ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ ආශීර්වාදයෙන් ආයුරාරෝග්‍ය සම්පත්තිය නොමඳව ලැබේවායි ආශිංසනය කරමු.

 

කේ. මීගහකුඹුර

(ශ්‍රී දළදා මාළිගාව)

නව අදහස දක්වන්න