මත්තලට ආ පළමු වාණිජ ගුවන් ගමනට වසර 10යි | දිනමිණ

මත්තලට ආ පළමු වාණිජ ගුවන් ගමනට වසර 10යි

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත‍ අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන නගර රැසක සිට ශ්‍රී ලාංකික මගීන් 108ක පිරිසක් රැගත් පළමු වාණිජ ගුවන් යානාව පැමිණි වසර 10ක් ගත වෙයි.

ඒම පළමු වාණිජ ගුවන් ගමනට අමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන ව්‍යාපාරිකයන්, වෘත්තීයවේදීන් මෙන්ම රාජ්‍යතාන්ත්‍රිකයන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් පිරිසක් එක්විය.

අමෙකාවේ ප්‍රධාන නගර රැසක සිට එමිරේට්ස් ගුවන් සේවය ඔස්සේ ඩුබායි ගුවන් තොටුපොළට පැමිණි මෙම ශ්‍රී ලාංකික පිරිස ශ්‍රීලන්කන් ගුවන් සමාගමට අයත් එයාර් බස් A 340-200 ගුවන් යානයකින් මත්තල ගුවන් තොටුපොළට පැමිණ ඇත.

නව ජාත්‍යන්තර ගුවන් තොටුපොළක අවශ්‍යතාවය ශ්‍රී ලංකාවට 21 වැනි සියවසේ ආරම්භයත් සමඟම පෙනී ගොස් තිබූ බැවින් ඒ සඳහා සුදුසු බවට හඳුනාගත් මත්තල ප්‍රදේශයේ නව ජත්‍යන්තර ගුවන් තොටුපොළක් ඉදිකිරීම ආරම්භ වන්නේ 2009 වසරේ නොවැම්බර් මස ය. මෙයින් වසර 10 කට පෙර එනම් 2013 මාර්තු මස 18 වන දින මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ගුවන් ප්‍රවාහන කටයුතු සඳහා රටට දායාද වන්නේ ඒ අනුවය.

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විවෘත කිරීමත් සමඟ ඩුබායි සිට පැමිණි පළමු වාණිජ ගුවන් ගමන සංවිධානය කිරීමෙහි මූලිකත්වය ගෙන එදා අමෙරිකාවේ සිට කටයුතු කළේ වර්තමාන හිල්ටන් සභාපති වන ශ්‍රි ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු සභාපති උපුල් ධර්මදාස මහතාය.මෙම පළමු ගමනට දස වසරක් සපිරෙන මේ මොහොතේ ඒ පිළිබඳව අප කළ විමසුමකි.

උපුල් ධර්මදාස මහතා - සභාපති - හිල්ටන්

හිටපු සභාපති, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය

සභාපතිතුමනි, පළමුවෙන්ම මෙවැනි ගුවන් ගමනක් සංවිධානය කරන්න මේ පිරිස එක්වුණේ ඇයි කියන කාරණාව අපිට පැහැදිලි කළොත්,

අමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හැටියට අපට අවශ්‍ය වුණා මත්තල ගුවන් තොටුපොළේ ආරම්භක අවස්ථාව වෙනුවෙන් යම් නොමැකෙන මතක සටහන් එක් කරන ආකාරයේ දෙයක් කරන්න. මොකද මෙවැනි අවස්ථාවක් උදාවන්නේ ඉතා කලාතුරකින්. සමහර විට අපි වගේ රටකට අපේ ජීවිත කාලයටම ලැබෙන එකම අවස්ථාව මෙය වෙන්නත් පුළුවන්. යම් රටක අලුතින් ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් එක් වෙනවා කියන්නේ අමතර වටිනාකමක් එක්වන අවස්ථාවක්. ඒ නිසා අපි කටයුතු සංවිධානය කළා අලුත් ගුවන් තොටුපොළට එන පළමු වාණිජ ගුවන් යානවෙන්ම ගොඩබහින්න ඕනෑ කියල.

මේ ශ්‍රී ලාංකිකයන් පිරිස අමෙරිකාවේ විවිධ ප්‍රදේශවලින් තමයි මෙම ගුවන් ගමනට එක්වුණේ. ඒ පිටුපස විශාල කාර්යභාරයක් සිදුවන්න ඇති.

ඇත්තෙන්ම, ඒ අනුව අමෙරිකාවේ නිව්යොර්ක්, ලොස් ඇන්ජලීස්, ඩලස්, ෆෝට් වර්ත්, චිකාගෝ, හියුස්ටන්, බොස්ටන්, ෆ්ලෝට් ලොඩඩෙල් වගේ ප්‍රදේශ ගණනාවක වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්, වෘත්තීයවේදීන්, නිලධාරීන් ඇතුළු 108 දෙනෙකුගෙන් යුත් පිරිසක් තමන් වෙසෙන ප්‍රදේශවල ඉඳලා 2013 මාර්තු 16 වැනිදා ඩුබායි බලා පැමිණියේ එහි ආරම්භක පුරුක ලෙසයි. එයට හේතුව තමයි ඩුබායි ගුවන් තොටුපොළ කේන්ද්‍රස්ථානයක් බවට පත් කර ගැනීම මෙම ගමනට පහසුවක් වන බව අපට වැටහී යාම. ඉන් අනතුරුව අපේ සැලසුම වුණේ නව ගුවන් තොටුපොළේ ආරම්භක අවස්ථාවට සමගාමීව පළමු වාණිජ ගුවන් යානාව ලෙස ඒ පිරිස රැගත් යානාව ගොඩබැස්සවීමයි.

මේ සඳහා අපේ කණ්ඩායම ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ඩුබායි බලා පැමිණි එයාර්බස් A 340-200 යානාවක් කුලී ගුවන් ගමනක් සඳහා වෙන්කරවා ගත්තා. එදා ඒ ආකාරයෙන් ආරම්භයක් ලබාගත් ශ්‍රී ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වර්තමානය වන විට විවිධ පැතිකඩ ඔස්සේ ගුවන් සේවාව හරහා ජාතික ආර්ථිකයට සවියක් වන්නට හැකි ලෙස කටයුතු කිරීම පිළිබඳව සිතට දැනෙන්නේ ලොකු සතුටක්.

විශේෂයෙන් මෙම පළමු වාණිජ ගුවන් ගමන සංවිධානය කිරීම වෙනුවෙන් මුල් වී කටයුතු කළ මා හට ඒ සතුට මේ විදියට වචනයෙන් නිමකරන්න බැහැ.

(පළමු වාණිජ ගුවන් ගමනින් පැමිණි උපුල් ධර්මදාස මහතා කපිතාන්වරයා සමඟ)

උපුල් ධර්මදාස මහතා, කොවිඩ් රෝග වසංගත තත්ත්වය හමුවේ දෙවන ගුවන් තොටුපොළක් රට තුළ තිබීමේ වටිනාකම ඉහළින්ම දැනුනා නේ ද?

හිටපු සභාපති හැටියට මගේ මතකයට එනවා අපි කොවිඩ් තත්වය හේතුවෙන් චීනයේ වූහාන් හි රැඳී සිටි ශ්‍රීලාංකිකයන් පිරිස රැගෙන පැමිණි ගුවන් ගමන, සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම හදට දැනුන අවස්ථාවක්. මේ ගුවන් ගමන පැමිණියේත් මත්තල ගුවන් තොටුපොළට. ඒ වගේම ඉන් පසු මාස ගණනාවක් අඛණ්ඩව ක්‍රියාත්මක වුණා ශ්‍රී ලාංකිකයන් මුදාගැනීමේ ගුවන් ගමන්, සෞඛ්‍ය උපදෙස් පරිදි මෙහෙයුම් කරන්න අවශ්‍ය නිසා බොහොමයක් මත්තලට යොමු කළා. විශේෂයෙන් ඒ මෙහෙයුම් සඳහා මත්තල ගුවන් තොටුපොළ වෙන්කර තබන්නට පවා කටයුතු කළා.

ඒ වගේම අමතක කරන්න බැහැ ඒ වකවානුවේ ඇරඹි නාවික කාර්ය මණ්ඩල හුවමාරුව. මමත් ඒ වැඩපිළිවෙළ ආරාම්භ කිරීම වෙනුවෙන් මූලිකව කටයුතු කළ අයෙකු හැටියට එම වැඩපිළිවෙළ හරහා ශ්‍රී ලංකාව ඒ සඳහා සුදුසුම ස්ථානයක් බවට නාවික ක්ෂේත්‍රය තුළ ඉහළ ප්‍රසිද්ධියක් ලබා දෙන්න හැකි වුණා. ඒ ඔස්සේ නාවික ක්ෂේත්‍රයත්, ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රයත් අපට සම්බන්ධ කරන්න හැකි වුණා. එහි මුල් පුරුක මත්තල ගුවන් තොටුපොළ.

(පළමු යානාවෙන් පැමිණි අමෙරිකාවේ වෙසෙන ශ්‍රීලාංකිකයන් 108 දෙනා මත්තල ගුවන් තොටුපොළට ඉදිරිපිටදී)

ඒ වගේම කියන්න අවශ්‍යයි ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හැටියට මාගේ මූලිකත්වය යටතේ මේ ගුවන් ගමන සංවිධානය කරන විට එවක ඇමරිකානු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය, ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ අමෙරිකානු සහ කැනේඩියානු නියෝජිතවරයා ලෙස කටයුතු කල ඩිලාන් ආරියවංශ වගේම එවක ගුවන් තොටුපොළ සභාපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රසන්න වික්‍රමසූරිය යන මහත්වරුන් ඉටුකළ කාර්යභාරය පිළිබඳව සිහිපත් කරන්න අවශ්‍යයි.

එවකට අමෙරිකාවේ තානාපතිව සිටි ජාලිය වික්‍රමසූරිය මහතා මෙම මගීන් 108 දෙනාගේ රාජ්‍යතාන්ත්‍රික කටයුතු සිදු කළ අතර, ඩිලාන් ආරියවංශ මහතා තමයි ශ්‍රීලන්කන් ගුවන් යානාව සම්බන්ධීකරණයෙන් සහයෝගය ලබා දුන්නේ.

නව අදහස දක්වන්න