දැන් කළ යුත්තේ ස්ථායී ආර්ථිකයක් ඇති කිරීමයි | දිනමිණ

දැන් කළ යුත්තේ ස්ථායී ආර්ථිකයක් ඇති කිරීමයි

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න

- ආර්ථිකය නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කර ගැනීම සඳහා ප්‍රවේශයක්
- ණය මුදල ප්‍රතිඵල දායක විදිහට යොදා ගත හැකි ක්‍රමයක් පිළිබඳ අප අවධානය යොමු කළ යුතුයි
- ඇතැම් රටවල මිනිස්සු ස්ව කැමැත්තෙන්ම බදු ගෙවනවා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරිකය අනුමත වීමෙන් පසු මෙරට ආර්ථිකය නැවත ප්‍රතිස්ථාපනය වන ආකාරය සහ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා සමඟ සිදු කළ සාකච්ඡාවකි මේ.

 රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය සහ ණය ගැටලුව විසඳා ගැනීමට මෙරටට අන්තර්ජාතික මූල්‍ය අරමුදල මඟින් ලබා දෙන ණය මුදල සඳහා අනුමැතිය ලැබී තිබෙනවා. මේ ණය මුදල මඟින් මෙරට බිඳ වැටී ඇති ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා කුමන ආකාරයේ සහයක්ද ලැබෙන්නේ?

අන්තර්ජාතික මූල්‍ය අරමුදලින් ලබා ගත් ණය මුදල අපේ රටේ ණය අර්බුදයට හෝ ආර්ථික අර්බුදයට ස්ථිර විසඳුමක් නොවෙයි. එහෙත් රටේ ආර්ථිකය නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කර ගැනීම සඳහා ප්‍රවේශයක් විදිහට මේ ණය ලැබීම සලකන්න පුළුවන්. එහෙම නැතිව අප සම්පූර්ණයෙන්ම ආර්ථික අර්බුදයෙන් ගැලවුණා දැන් හරි කියල කෙනෙකු හිතනවා නම් ඒක වැරැදියි.

ණය අරන් ප්‍රිය සාද පැවැත්වූ කාලයක් තිබුණා. ඒත් ණය ගත්තාම ඒ ණය මුදල ප්‍රතිඵල දායක විදිහට යොදා ගත හැකි ක්‍රමයක් පිළිබඳ අප අවධානය යොමු කළ යුතුයි. විස්තීරණ ණය මුදලක් ලැබීමට නියමිතයි. මේ ණය මුදල ඉලක්කමක් විදිහට අරන් බැලීමට වඩා වැදගත් දෙයක් විදිහට පෙන්වා දෙනවාට වඩා අපට වෙනත් ආකාරයකට පෙන්වා දීමට හැකියාව තිබෙනවා. මූල්‍ය අරමුදලේ ණය අනුමත වීමත් සමඟ අප රටට නැවත සහතිකයක් ලැබෙනවා.

අප රට ණය ලබා දිය හැකි රටක් විදිහට නැවත සහතික වීමක් ලැබුණා. ඒ නිසා අපට රටක් විදිහට නැවත ආර්ථික ප්‍රතිසංස්කරණවලට ඉඩ ලැබෙනවා. ඒ සමඟ අපට වෙනත් රටවලින් ණය ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ආසියානු සංවර්ධන බැංකුව වැනි බහු පාර්ශ්වීය ආයතන, විදෙස් රටවල්, මෙන්ම වාණිජ ණය ද ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. එයට මූලික හේතුව බවට පත්වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන ණය වාරිකය සමඟයි.

ඒ නිසා අද වන විට මෙරට ඇතිව තිබෙන අර්බුදකාරී ආර්ථික තත්ත්වය සමනය කළ හැකි වාතාවරණයකට අවශ්‍ය මඟ මේ ණය වාරිකය අනුමත වීමත් සමඟ රටට ලැබී තිබෙනවා. එහෙත් මෙය අප රට මුහුණ දී තිබෙන ගැඹුරු අර්බුදයට විසඳුමක් විදිහට සලකනවාට වඩා අර්බුදය විසඳීමට ලැබෙන නව පිවිසුමක් විදිහට සලකන්න පුළුවන්.

මූල්‍ය අරමුදලේ ණය ලැබීම මඟින් අර්බුදය ස්ථිර විසඳුමක් නොලැබෙන බවට ඔබ තර්කයක් ගොඩ නැඟීමට බලපානු ලබන්නේ කුමන ආකාරයේ හේතුවක්ද?

අපේ රට දෙදහස් නවය අවුරුද්දේදී වර්තමානයේ මෙන් ලොකු ආර්ථික අර්බුදයකට පැටලීමට නියමිතව තිබුණා. එහෙනම් අද ඇති වන තත්ත්වය ඇති වන්නේ 2009 අවුරුද්දේදි. එහෙත් එදත් අන්තර්ජාතික මූල්‍ය අරමුදලින් අමෙරිකානු ඩොලර් බිලියන ගණනක ණයක් ලැබුණා. ඒ අවස්ථාවේදී අපට රටක් විදිහට ඒ අර්බුදයෙන් ගැලවීමට හැකියාව ලැබුණා.

එහෙත් අපට රටක් විදිහට, රාජ්‍ය පාලනයක් විදිහට ලබා ගත් ණය මුදල නිසි ලෙස කළමනාකරණය කිරීමට නොහැකි වුණා. එහි ප්‍රතිඵලයක් තමයි අප නැවත 2022 දී අද අප රට පත්ව තිබෙන අර්බුදයට මුහුණ දුන්නේ. එදා සිදු වුණේ ණය මුදලින් ප්‍රියසාද පැවැත්වූවා. ඒ විදිහට වැඩ කළ නිසා තමයි අද තත්ත්වයට පත් වුණේ. අප රට අද ලබා ගත් ණය සහ එමඟින් විවෘත වන අවස්ථා නිසි විදිහට ප්‍රයෝජනයට නොගත්තොත් නැවතත් අවුරුදු පහකින් දහයකින් මේ අර්බුදය නැවත මතු වෙන්න පුළුවන්.

ඔබ සිතන විදිහට අද ඇතිව තිබෙන තත්ත්වය කළමනාකරණය කිරීම ආණ්ඩුවට හෝ රාජ්‍ය පාලනයට විතරක් සිදු කළ හැකි දෙයක් බවද?

පැහැදිලිවම මෙහි වගකීම රාජ්‍ය පාලනයටම පවරා අත සෝදා ගැනීමට බැහැ. ජනතාවට ද මේ තත්ත්වය ගැන විශාල වගකීමක් තිබෙනවා. අද රට මෙතැනට පත්ව තිබෙන්නේ ජනතාව විදිහට අප ගත් වැරැදි තීන්දු සහ තීරණයි.

ජනතාව විදිහට ඉදිරියේදී මේ ණය කළමනාකරණය කරමින් සහ රට නැවත නව මඟකට ගෙන යා හැකි සහ විදෙස් මුදල් විදෙස් ආයෝජන මෙරටට ආකර්ෂණය කර ගත හැකි පිරිස් වෙත ආණ්ඩු බලය ලබා දිය යුතුයි. ඉදිරි ආණ්ඩුව සර්වජන ඡන්ද බලයෙන් තෝරන විට අප මේ ගැන හොඳින් කල්පනා කර බුද්ධිමත්ව තීරණ ගන්න ඕනෑ.

ජනතාව විදිහට අපට සෙසු පාර්ශ්ව වලට චෝදනා කරමින් සිටීම නොවෙයි වෙන්න ඕනෑ. අපට හැකියාව හා බුද්ධිය තියෙන්න ඕනෑ, රටේ ප්‍රශ්න විසඳිය හැකි පිරිසකට අනාගතයේ ආණ්ඩු බලය පැවරීමේදී අවධානය යොමු කිරීමට. එහෙම වුණොත් අපට පුළුවන්කම ලැබේවි අදට වඩා අඩි කිහිපයක් හෝ ඉස්සරහට යන්න.

මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමේදී රටක් විදිහට ඉටු කළ යුතු කොන්දේසි ඇතැයි සමහර කණ්ඩායම් චෝදනා එල්ල කරනවා.මේ ගැන ඔබේ අදහස පැහැදිලි කළ හැකිද?

මූල්‍ය අරමුදලෙන් අප රටට ණය ලබා දීමට කොන්දේසි පනවා ඇතැයි කිසිවකු කියනවා නම් ඒක නිවැරැදි නැහැ. මේ ණය ලබා දීමේදී ආර්ථික ස්ථායී භාවය සලකා බැලීම තමයි සිදුවන්නේ. අස්ථායී භාවය දුරුකර ස්ථායී ආර්ථිකයක් ඇති කිරීමයි. මේවා රටකට අවාසිදායක කොන්දේසි විදිහට සලකන්න බැහැ. මේ ආර්ථික තත්ත්වය ස්ථායී කිරීම සඳහා විවිධ දේවල් සපුරා ලිය යුතුව තිබෙනවා.

අපේ රටේ බදු අයකිරීම සිදු වුණේ සියයට අට - දහය වගේ අගයෙන්. සෘජු බදු ඒ අගයේ තිබුණත් වක්‍ර බදු විශාල වශයෙන් අප විසින් ගෙවනු ලැබුවා. උදාහරණයක් විදිහට අප පරිප්පු කිලෝවකට වක්‍ර බද්දක් අය කරනු ලබනවා. අපි සෘජු බදු ගෙවන්න හුරුවුණ පිරිසක් නොවෙයි.

රුපියල් ලක්ෂයක් කියන්නේ ලොකු වැටුපක් කියලා හිතනවා නම් ඒක වැරැදියි යන අදහසේ මම ඉන්නේ. රුපියල් ලක්ෂයක හෝ එයට වැඩි වැටුප් ලබන අය ඉලක්ක කර ගෙන තමයි බදු මුදල් පැනවීම සිදු කරනු ලැබුවේ. මෙතැනදී සලකා බලන්නේ විධිමත් විදිහට වැටුප් වාර්තාවක් සහිතව වැටුප් ලබන පිරිසක් ගැන විතරයි. ඒත් රුපියල් ලක්ෂයට වඩා රුපියල් මිලියනයට වඩා වැටුප් ලබන පුද්ගලයෝ සිටිනවා. එහෙත් ඒ අය පිළිබඳ සොයන්නේ නැහැ.

එහෙම හොයා බලා වැඩ කරනවා නම් බදු ආදායම අදට වඩා විශාල ලෙස වැඩි කර ගැනීමට හැකියාව ලැබේවි. ඒ නිසා සියලු දෙනා පිළිබඳ අදාළ වන විදිහට බදු ෆයිල් එකක් විවෘත කළ හැකියි. එමඟින් බදුවලින් ලබන ආදායම වගේම ඉහළ ආදායම් ලබමින් සිටින පිරිස් හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා.

සමහර රටවල ස්වේච්ඡාවෙන් බදු ගෙවීමට ඉදිරිපත්වන පිරිස් ඉන්නවා.ඒත් අපේ රටේ එහෙම වෙයි කියල හිතන්න බැහැ.ඒ නිසා විධිමත් රැකියාවල වැටුප් වාර්තා පදනම් කර ගනිමින් සිදු කරනු ලබන බදු පැනවීමකට වඩා සියලු දේවල් සොයා බලා සිදු කරනු ලබන බදු පැන‍වීම වඩාත් සුදුසු බවයි මා සිතන්නේ.

මූල්‍ය අරමුදලේ ණය මුදල ලැබීමත් සමඟ මෙරට තුළ වේගවත් ලෙස ඉහළ ගිය ඩොලරයේ අගය රුපියල් දෙසීය දක්වා පහළ යනු ඇතැයි අතැමුන් අනාවැකි පළ කරනවා. මේ ගැන ඔබේ අදහස පැහැදිලි කළ හැකිද?

ඩොලර් මෙරටට පැමිණීම, නිසා ඩොලරයේ අගය යම් කාලයකට පහළ යනු ඇතැයි පුරෝකථනයක් කළ හැකියි.

එහෙත් ඒක සිදු වන්නේ කෙටි කාලයකට පමණයි. වර්ෂ 1977 දී ඩොලරයට ගෙවිය යුතුව තිබුණේ රුපියල් දහසයක මුදලක්. ඒ අගය තමයි අද වන විට රුපියල් තුන්සිය පනහ, හැට දක්වා ඉහළ ගියේ. මේ අවුරුදු හතළිස් පහ තුළ සිදු වුණේ රුපියලට සාපේක්ෂව ඩොලරයේ මිල ඉහළ යෑමයි. ඒ අතර කාලයෙන් කාලයට විවිධ විශේෂ හේතු නිසා ඩොලරයේ අගය ඉහළ පහළ ගිය අවස්ථා තිබුණා. එහෙත් ඩොලරයේ අගය ස්ථාවර ලෙස පහළ යෑමක් වුණේ නැහැ. අප රට සිදු කරනු ලබන ජාත්‍යන්තර වෙළෙඳාම් ප්‍රමාණය ඉහළ නැංවීමට හැකියාව තිබෙනවා නම් විදෙස් විනිමය ස්ථිර මාර්ග ඔස්සේ දිගින් දිගටම මෙරටට ගෙන්වා ගැනීමට පුළුවන් නම් ඩොලරයේ අගය පහළ මට්මමක් වෙත නැවත ගෙන එන්න පුළුවන්. ඒ සඳහා දීර්ඝ කාලීන නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙන්න ඕනෑ. එහෙම ක්‍රමයක් හැදිය යුතුයි.

එමඟින් අපට ඩොලරයේ අගය පහළ රඳවා ගැනීමට හැකියාව ලැබේවි. අසල්වැසි ඉන්දියාවට පසුගිය අවුරුද්ද තුළ ඇදුන ආයෝජනවලින් දහයෙන් පංගුවක් හෝ අපට ආකර්ෂණය කර ගැනීමට හැකියාව ලැබී නැහැ.

ඔබ සඳහන් කරන්නේ මෙරට ආර්ථික තත්ත්වය ස්ථාවර කිරීමට හා ආයෝජන මඟින් ස්ථාවර ඩොලර් ආදායමක් ලැබිය හැකි ක්‍රමය පිළිබඳ පැහැදිලි කිරීමක් කළ හැකිද.?

අපට හැකියාව සහ සැලසුම් තියෙන්න ඕනෑ. මහා පරිමාණ ලොව පිළිගත් සමාගම් මෙරට ආයෝජනය සඳහා එක් කර ගැනීමට අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි වැඩපිළිවෙළ සකස්ව ඇත්තේ ඒ අනුවයි. එහිදී අප ආයෝජකයන්ගේ අවධානය දිනා ගත හැකි ආකාරයට ඉඩම් නීති ඇතුළු නීති පද්ධතියේ වෙනස්කම් කළ යුතුයි.

අද අපේ අසල්වැසි ඉන්දියාවට ජපානය,කොරියාව,චීනය ඇතුළු විවිධ රටවල ලොකු සමාගම් පැමිණ ආයෝජනය කර තිබෙනවා. චීනය කියන්නේ ඉන්දියාවේ දේශපාලනය සමඟ නොපෑහෙන රටක්. ඒත් ආර්ථික කරුණු වලදී ඔවුන් ඒවා සලකා බලන්නේ නැහැ. ජපානයේ හොණ්ඩා, සුසුකි වගේ අන්තර්ජාතික සමාගම් මෙන්ම කොරියාවේ කියා, හයිහුන්ඩායි වැනි සමාගම් ඉන්දියාව තුළ සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙනවා. අපත් මේ විදිහේ මහා පරිමාණ සමාගම් ආයෝජනය කර ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා.

නව අදහස දක්වන්න