අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් ශූරතාව මුවර්ස් පිලට | දිනමිණ

අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් ශූරතාව මුවර්ස් පිලට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවුරුදු 23න් පහළ යොවුන් ක්‍රීඩකයන් වෙනුවෙන් සංවිධාන කළ අන්තර් සමාජ දෙදින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව සමඟින් රුපියල් ලක්ෂ 5ක ත්‍යාග මුදල දිනා ගැනීමට මුවර්ස් ක්‍රීඩා සමාජය සමත් විය.ඊයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී රාගම ක්‍රීඩා සමාජයට එරෙහිව අවසන් තරගය ජය පරාජයෙන් තොරව නිමා වුවද මුවර්ස් පිල පළමු ඉනිමේ ජය හිමි කර ගනිමින් ශූරතාවට හිමිකම් කීය.

තරගයේ පළමු පන්දුවට පහර දුන් රාගම පළමු ඉනිම ලකුණු 293කට සීමා කළ මුවර්ස් ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී තිබියදී එම ඉනිම අබිබවා යෑමට සමත් වූහ. අනුශූරයන් වූ රාගම පිලට රුපියල් ලක්ෂ 3ක මුදලක් හිමි විය.

තරගයේ පළමු දිනය නිමා වන විට කඩුලු 8කට ලකුණු 258ක් රැස් කර තිබූ රාගම ක්‍රීඩා සමාජය ඊයේ දිනයේ තවත් ලකුණු 35ක් එක් කර ගත්තේ පළමු ඉනිම ලකුණු 293 දක්වා ඉදිරියට ගෙන යමිනි.

මුවර්ස් පිළිතුරු ඉනිමේදී පළමු කඩුල්ල ලකුණු 7කට බිඳ වැටුණද අනතුරුව ආරම්භක පිතිකරු දිනුක ඩිල්ෂාන් සමඟ එක් වූ සොහාන් ඩි ලිවේරා ලකුණු 112ක සබඳතාවක් ගොඩනඟමින් ඉනිම ශක්තිමත් කළේය. එම සබඳතාව බිඳ දමමින් පිට පිට ඕවර දෙකකදී ඔවුන් දෙදෙනාම ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඩෙලෝන් පීරිස්ට හැකි විය. දිනුක ලකුණු 44කට දැවී ගිය අතර, පන්දු 57කට මුහුණ දුන් සොහාන් වේගවත් ලකුණු 72ක් රැස් කළේ හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟිනි.මුළු ලකුණු 126දී තෙවැනි කඩුල්ල බිඳ වැටීමෙන් පසු පිටියේ එක් වූ ජනිෂ්ක පෙරේරා සහ නායක මොහම්මඩ් ශමාස් ලකුණු 136ක සබඳතාවක් සමඟින් ලකුණු පුවරුව 263 දක්වා ඉදිරියට ගෙන ගියහ. ඩෙලෝන් පීරිස්ට තෙවැනි කඩුල්ල හිමි කර දෙමින් ශමාස් දැවී යන විට පන්දු 87කදී හතරේ සහ හයේ පහර 3 බැගින් එල්ල කරමින් ලකුණු 73ක් රැස් කර තිබිණි. ලකුණු 276දී 6 වැනි කඩුල්ල ලෙස දැවී ගිය ජනිෂ්කගේ ඉනිම පන්දු 128කදී ලකුණු 72කට සීමා විය. පන්දු යැවීමේදී ඩොලෝන් පීරිස් කඩුලු 5ක් දවාගත් අතර, ශෂික දුල්ෂාන් කඩුලු 3ක් දවා ගත්තේය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් රාගම පිල වෙනුවෙන් අර්ධ ශතක රැස් කිරීමට දුලාජ් බණ්ඩාර (73), රන්මිත් ජයසේන (72) සහ ශෂික දුල්ෂාන් (52) සමත් වූහ. දුලාජ් සහ රන්මිත් 5 වැනි කඩුල්ලට ලකුණු 93ක සබඳතාවක් ගොඩනැඟූ අතර, දුලාජ් පන්දු 150කදී හතරේ පහර 5ක් ද, රන්මිත් පන්දු 117කදී හතරේ පහර 6ක් ද එල්ල කර තිබිණි.පන්දු 104කදී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 52ක් රැස් කළ ශෂික දුල්ෂාන් 9 වැනි කඩුල්ලට අෂාන් ප්‍රනාන්දු (15) සමඟින් ලකුණු 58ක සබඳතාවක් ගොඩනැඟීම කැපී පෙනිණි.පන්දු යැවීමේදී තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වන තීසන් විතූසන් සිය කඩුලු මල්ලට තවත් කඩුලු 5ක් එක් කර ගත්තේය. මේ තරගයට පෙර ඔහු කඩුලු 29ක් බිඳ හෙළා තිබිණි.

තරගාවලියේ වීරයා සම්මාන දිනාගත් රාගම ක්‍රීඩා සමාජයේ ඩෙලෝන් පීරිස්ට රුපියල් ලක්ෂයක ත්‍යාගයක් හිමි වූ අතර, සකුණ ලියනගේ(කැපිටල්) හොඳම පිතිකරු සහ තීසන් විතූසන් (මුවර්ස්) හොඳම පන්දු යවන්නා ලෙස සම්මාන දිනා ගත්හ. ඔවුන් දෙදෙනාට රුපියල් 75,000 බැගින් ද අවසන් තරගයේ වීරයා වූ මොහමඩ් ශමාස්ට(මුවර්ස්) රුපියල් 50,000ක් හිමි විය.

රාගම පළමු ඉනිම - 293 (ඕවර 101.5) දුලාජ් බණ්ඩාර 73, රන්මිත් ජයසේන 72, ශෂික දුල්ෂාන් 52 (තීසන් විතූසන් 102/5, දිනුක ඩිල්ෂාන් 19/2)මුවර්ස් පළමු ඉනිම - 298/9 (ඕවර 62.5) මොහමඩ් ශමාස් 73, සොහාන් ඩි ලිවේරා 72, ජනිෂ්ක පෙරේරා 72, දිනුක ඩිල්ෂාන් 44 (ඩෙලෝන් පීරිස් 102/5, ශෂික දුල්ෂාන් 92/3)

නිරෝෂාන් ප්‍රියංකර

නව අදහස දක්වන්න