පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල්
රටේ ආර්ථික අර්බුදය ඇතිවීමට පෙර මුල් අවස්ථාවේදීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කියා සමඟි ජන බලවේගය ආණ්ඩුවට පැවසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.
"මීට කලින් අපි ආහාර සුරක්ෂිතතාව ගැන කතා කළා. මන්දපෝෂණය ගැන කතා කළා. අපි කියන්නේ ණය ගැනීම කියන කාරණයෙන් පාස් වුණාට ණය ආපහු ගෙවීම කියන කාරණය සහ මහජන සුබසාධන කාරණාවලින් මේ ආණ්ඩුව අසමත් වෙලා. අපට තියෙන ප්‍රධාන ප්‍රශ්නය ඩොලර් හිඟය. ඩොලර් ටිකක් ණයට ගෙන මේ ආර්ථිකය පිට දාලා රුපියලේ වටිනාකම කෘත්‍රිමව වැඩි කළාට වැඩක් නෑ.
ඒ මුදල් අපි ණයට ගන්න දේවල්. තව තවත් අපි මේ ණය උගුලේ හිරවන තත්ත්වයක් මතු වෙන්නේ. අපි බලන්න ඕනෙ ඩොලර් උපයන්නේ කොහොමද, ඒවා වැඩි දියුණු කරන්නේ කොහොමද කියලා. හැබැයි දැන් අපට ලැබෙන්නේ සමස්ත ඩොලර් ප්‍රමාණයෙන් 8න් 1ක කොටසක්. ඒ කියන්නේ මිලියන 300ක පමණ මුදලක්. මේ මුදල ලැබෙන කොට ආණ්ඩුව අයි. එම්. එෆ්. එක්ක එකඟ වෙලා තියෙන ගිවිසුම් මොනවාද? විදුලි බිල දරා ගන්න බැරි විදිහට අහස උසට ඉහළ ගියා. රජයේ සේවකයන්ගේ පඩි පතට ගහන බදු ප්‍රමාණය වැඩි වුණා. ජනතාවට ගහන බදු ප්‍රමාණය අහස උසට ගියා. අපේ රටේ ලාභ ලබන රාජ්‍ය ආයතන වන ශ්‍රී ලංකා ටෙලිකොම්, ලංකා හොස්පිට්ල් වැනි ආයතන කුණු කොල්ලට විකුණන්න ලෑස්ති කරනවා. මේ නිසයි, මේ ආණ්ඩුවට සමඟි ජන බලවේගය මුල් අවස්ථාවේම කිව්වේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කියලා. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගන්නවාට විරුද්ධ නෑ. හැබැයි අපි කිව්වේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දාන හැම කොන්දේසියකටම සීමාවක් නැතිව එකඟ වෙන්න එපා, ජනතාවගේ සුබසාධනයට සහ මේ රටේ ස්වෛරීභාවයට හිතකර කොන්දේසිවලට පමණක් යටත් වෙන්න කියලා."
රක්ෂණ ශ්‍රියන්ත
නව අදහස දක්වන්න