මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය
විස්තීර්ණ ණය ලබා දීම සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් යෝජනා කර ඇත්තේ කිසිසේත් ම රටට අහිතකර යෝජනා නොවන බවත්, ඒවා රටක් ලෙස ජයගත යුතු අභියෝග බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) පැවැසීය.
දිළිඳු ජනතාව ආරක්ෂා කිරීම, දූෂණය අවම කිරීම, බැංකු පද්ධතිය ශක්තිමත් කිරීම ඇතුළු යෝජනා ඒ අතර වන බව හෙතෙම කීවේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුමේ කොන්දේසි ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැවැති විවාදයේදී අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
ණය පීඩනය සහ ගෙවුම් ශේෂ හිඟය යන ද්විත්ව හිඟයකට ශ්‍රී ලංකාව මුහුණ දී සිටි බවත් ලබා ගත් ණය වැය කළේ ක්ෂණික ඉපැයීම් නැති සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් බවත් ඒ මහතා කීවේය. පැවැති අර්බුද අතරට පාස්කු ප්‍රහාරය, කොවිඩ් සහ අසමත් ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිඵලත් එකතු වුණු බව පැවැසූ සියඹලාපිටිය මහතා ණය ගෙවීම සඳහා නැවත ණය ගන්න සිදු වුණු බව කියා සිටියේය.
රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
ජංගම ගිණුම වගේම ප්‍රාථමික ගිණුමත් අර්බුදයට ලක් වුණා. 2018දී ආපු ලක්ෂ 18ක සංචාරකයන් 2021දී ලක්ෂ 2ට අඩු වුණා. IMF මාධ්‍ය හමුවේදී කළ යෝජනා අනුව දැනට 128%ක තියෙන දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණය ප්‍රමාණය 95% දක්වා අඩු කළ යුතුයි.ආර්ථික වර්ධන වේගය ක්‍රමයෙන් 2026 වෙද්දි 3%ක මට්ටමකට රැගෙන යා යුතුයි. උද්ධමනය 2026 වන විට 5.2% මට්ටමට පහළ දැමිය යුතුයි. -8.3% මට්ටමේ තියෙන දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ආදායම ක්‍රමයෙන් 2026 වෙන විට 15% මට්ටමට රැගෙන ආ යුතුයි. 2022 වසරේදී ඩොලර් මිලියන 462ක් දක්වා පහත බැස්ස විදේශ සංචිත ප්‍රමාණය ක්‍රමයෙන් 2026 වන විට ඩොලර් බිලියන 10 දක්වා වැඩි කළ යුතුයි. 16 වතාවක් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා අමතක කළා. ඒ නිසා තමයි අපට බංකොලොත් රටක් විදියට ඔවුන් හමුවට නැවත යන්න සිදු වුණේ. රුපියල් බිලියන 500ක් විතර වැය කරමින් රාජ්‍ය ආයතන නඩත්තු කරනවා.
සමීක්ෂණයකින් හෙළි වෙලා තියෙනවා මෙරටේ 18 – 26ත් අතර දරුවන්ගෙන් 85%ක් කොහේ හෝ රටකට යන්න කැමැත්තෙන් ඉන්නවා කියල. දැන් මේ යෝජනා මොනවද කියල අහන උදවිය කලින් අවස්ථාවලදී IMF යෝජනා කැබිනට් එකට ඉදිරිපත් කළෙත් නෑ. ගිවිසුම එළියට දැම්මෙත් නෑ. අපි දුම්වැටිවලට 75%ක පමණ බද්දක් අය කරල තියෙනවා. අපට මේ ලැබෙන ණය මුදල අපි පොලියත් සමඟ නැවත ගෙවන්න ඕනෙ. ඒකට 4%ක විතර පොලී මුදලක් එකතු වෙයි. ජනප්‍රිය තීන්දු ගැනීමේ ප්‍රතිඵල අපි භුක්ති විඳිනවා. ඒවායින් පාඩම් ඉගෙන ගෙන මෙම යෝජනා නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට අපි කටයුතු කළ යුතුයි.
කැලණි ගංගා ද්‍රෝණියේ බහුකාර්ය යෝජනා ක්‍රමයකට අනු කමිටුවක් ස්ථාපිත කරන්න
පොජපෙ මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන
කැලණි ගංගා ද්‍රෝණියේ බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමයක් සඳහා පාර්ලිමේන්තුවේ අනු කමිටුවක් ස්ථාපිත කරන්නැයි පොජපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) ඉල්ලීමක් කළේය.
කැලණි ගඟ පිළිබඳ මේ ගැටලුව වසර 90කට වැඩි කාලයක් පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ලක් වෙතත්, අද වනතුරු සැලසුම් සහගත වැඩසටහනක් නොමැති බව හෙතෙම පෙන්වා දුන්නේය.
වාචික පිළිතුරු අපෙක්ෂාවෙන් වාරිමාර්ග ඇමැතිවරයාගෙන් ප්‍රශ්නයක් විමසමින් මන්ත්‍රීවරයා මෙම ඉල්ලීම කළේය.
කැලණි ගඟේ ගංවතුර තත්ත්වයෙන් වන හානිය සඳහා අවුරුදු හතර පහක ගෙවා තිබෙන මුදල යොදා ගත්තේ නම්, සංවර්ධන ව්‍යාපෘතියක් සාර්ථකව ක්‍රියාත්මක කළ හැකි බවද ඔහු කියා සිටියේය.
යදාමිණි ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ අදහස අනුව ඉතාමත්ම නුදුරු දිනයකදී ඒ අවශ්‍ය කමිටුව පිහිටුවා සියලුම දෙනාගේ අදහස් ලබාගෙන කැලණි ගඟේ ගංවතුර පාලන ව්‍යාපෘතිය සඳහා එය උපයෝගී කර ගන්නා බව වාරිමාර්ග රාජ්‍ය ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා පැවැසීය.කැලණි ගඟ ජල විදුලි උත්පාදනය කරන්නට අවකාශය තියෙන ප්‍රදේශයක් බවත්, ඉතාමත්ම වැඩි වර්ෂාපතනයක් ලංකාවේ වාර්තා වන ප්‍රදේශයක් නිසා මේ වැඩි අතිරික්ත ජලය ගං වතුර පාලනය වගේම ජල විදුලි උත්පාදනයත්, අනෙකුත් ජලය, ජල හිඟයන් තියෙන ප්‍රදේශ කරා ගෙන යාමට හැකියාව පවතින බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.
IMF ණය ලබාගැනීමට හැකිවීම ගැන සතුටු වෙනවා
සජබ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා
මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමට හැකි වීම ගැන සතුටු වන බවත් එය අගය නොකිරීමට තරම් කුහක නොවන බවත් සමඟි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
පසු වී හෝ මූල්‍ය අරමුදල වෙත යෑම ගැන සතුටු වන බව හෙතෙම කීවේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ එළඹී යෝජනා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නැඟී සිටී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
නමුත් සාමාන්‍ය ජනතාව පීඩාවට පත්ව ඇති අවස්ථා වෙනස් කරගත යුතු බවත් ධනාත්මකව මේ විවාදය කළ යුතු බවත් ඒ මහතා කියා සිටියේය.
සජිත්ට රනිල් භීතිකාවක් තිබෙනවා
සංචාරක හා ඉඩම් ඇමැති හරීන් ප්‍රනාන්දු
සජිත් ප්‍රේමදාස මහතාට රනිල් වික්‍රමසිංහ භීතිකාවක් තිබෙන බවත් එය හැමදාම තිබුණු බවත් සංචාරක හා ඉඩම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) පැවැසීය.
සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවක් ගතහොත් වසර එකහමාරක්වත් එය රැක ගැනීමට එතුමාට නොහැකි බව හෙතෙම කීවේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුමේ කොන්දේසි ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැවැති විවාදයේදී අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
විපක්ෂ නායකවරයා යම් දෙයක් භාර ගැනීමට අකමැති වුවත් කුහකත්වය අඩු වී නැති බවද ඒ මහතා කියා සිටියේය.
ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
හර්ෂ ද සිල්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දේශපාලනීය කරගෙන නැහැ. සමහරු එහෙම නැහැ. හරි වැරැදි අඩුපාඩු කතා කළා. විපක්ෂ නායකයා කියනවා ඒ අය මේකට සම්බන්ධ කර ගත්තේ නැහැ කියලා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කළ හැම කතාවකම විපක්ෂයට සම්බන්ධ වෙන්න ආරාධනා කළා. අද මෙය පාර්ලිමේන්තුවේ ඵෙතිහාසික දිනයක්. නැති දේවල් කියද්දි, ඒ සියල්ල බොරු කියලා ඔප්පු කරලයි මේ ජයග්‍රහණය ලැබුවේ. මේ පාර්ලිමේන්තුවේ කට්ටියක් පසු තැවෙනවා. සමහරු හුරේ දානව. මහ ලොකු දුරක් යන්න තිබෙනවා. මේ රට විනාශයි. ඒකට මේ රට පාලනය කළ හැම පක්ෂයක්ම වගකිව යුතුයි. ලෝකයේ දියුණු වුණු රටවල් මෙහෙම වැටිලා තිබෙනවා. ජපානය එහෙම වුණු රටක්. අපේ රටේ සාමූහිකකමක් නැහැ. දියුණු රටවල් සාමූහිකව එකතු වුණා. ජයග්‍රහණය සඳහා මම ‘කිං‘ කියලා ඔවුන් කිව්වේ නැහැ. අපේ රට වැටුණොත් පෝස්ට්මෝෂන් තියනවා. ඒකයි අපි විනාශ වුණේ. රට විනාශ වෙලා තියෙද්දි ඡන්ද තියන්න කියනවා. එහෙම තියන්න වතාවරණයක් තියෙනවද. අපේ දේශපාලනඥයන් කරේ ජනතාව සැනසීමේ ක්‍රමය පමණයි. ඒකටයි හැඩ ගැසිලා තිබෙන්නේ. සජිත් ප්‍රේමදාස මහතාට රනිල් වික්‍රමසිංහ භීතිකාවක් තියෙනවා. එය හැමදාම තිබෙනවා. එහෙම නැතුව කිසිම භීතිකාවක් මේ රටේ නැහැ. මාධ්‍ය නිදහස තිබෙනවා. පලු යන්න ගහන්න පුළුවන්කම තිබෙනවා.
අපි හැමදාම කළේ නිකන් දීපු එක. තෙල් 400ට දෙන්න ඕන වෙලාවට සියයට දෙනවා. රට වැටෙන්නේ නැද්ද. අයිඑම්එෆ් කියන්නේ ගිලෙන්න යන මිනිහට කඹයක් දානව වගේ වැඩක් කියලා. ඒක ඇත්ත. එය තමයි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පොහොර ප්‍රශ්නය පාස්, තෙල් ප්‍රශ්නය පාස්, විදුලිය ප්‍රශ්නයෙන් පාස්, අයිඑම්එෆ් එකෙන් පාස්, ආහාරවලින් පාස්, රුපියල කඩා වැටීමේ ප්‍රශ්නයෙන් පාස්, උද්ධමනය ප්‍රශ්නයෙන් පාස්, ජාතිවාදි ප්‍රශ්නයෙන් පාස්.
විපක්ෂ නායකවරයා ගනිමු. පක්ෂයක්, සන්ධානයක් එකට තියා ගැනීමෙන් ෆේල්, ආණ්ඩුවක් පෙරළීමෙන් ෆේල්, ඒ කියන්නේ විපක්ෂ නායකවරයා හැමදාම ෆේල්.
ආණ්ඩුව හරි පාරෙ යනවනම් ශ්‍රීලනිපය සහාය දෙනවා
ශ්‍රීලනිප සභාපති, මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන
දුෂණය, වංචාව, නාස්තිය, පවුල්වාදය පිටුදැක නිවැරදි වැඩපිළිවෙළක් අනුගමනය කරන්නේ නම් අවශ්‍ය සියලු සහයෝගය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) ප්‍රකාශ කළේය.
පවතින අර්බුද හමුවේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවත් ආදායම් බෙදීයාමේ විසමතාව පාලනය කිරීමට වහා කටයුතු කළ යුතු බවත් හෙතෙම පැවැසීය.
බදු පැනවීම හේතුවෙන් ඉහළ සිට පහළට වන සියලු ස්ථරවල පිරිස් සිදු කරන වැඩ වර්ජන හේතුවෙන් ආර්ථිකයට එල්ල වන පාඩුව අති විශාල බවත් මෙම තත්ත්වයන් නිවැරදිව හඳුනාගෙන කළමනාකරණය කිරීමේ හැකියාව තිබිය යුතු බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
එමෙන්ම වැඩ වර්ජනවල නිරත වන පිරිස් සමඟද සාකච්ඡා කර අර්බුද විසඳීම සඳහා යෝජනාවලියක් ලබා ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තමන් යෝජනා කරන බව ද හිටපු ජනාධිපතිවරයා පැවැසීය.
මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය අදහස් දක්වමිනි.
එදා IMF යනවට විරුද්ධ වුණේ ජාතිද්‍රෝහීන්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනු-දෙනු කිරීම ජාතිද්‍රෝහී, රට විකුණන ක්‍රියාවක් ලෙස පොහොට්ටු කණ්ඩායම එදා හැඳින් වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) පැවැසීය.
එදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එරෙහිව වුණු අය ජාතිද්‍රෝහියෝ ලෙස තමන් දකින බව ද හෙතම කීවේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුමේ කොන්දේසි ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැවැති විවාදයේදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.
අපි සුදුසු දේට සහාය දෙන්න කිසිම වෙලාවක මැලි වෙන්නේ නැති බවත් එවැනි දේට එරෙහි වෙන්න තරම් සමඟි ජන බලවේගය ද්‍රෝහි නැති බවත් ඒ මහතා කියා සිටියේය.
විපක්ෂ නායකවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.
ජනාධිපතිවරයා මූල්‍ය අරමුදලේ එකඟතාව ගැන මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. සභාගත කළා. ඒ විතරක් නෙවෙයි යෝජනාව ගැන විවාදයක් ඕන කිව්වම ඒ විවාදය පවා දුන්නා. සමහරු බලාවී මෙය පරිශීලනය කරලද මේ කතා කරන්නේ කියලා. අපේ පක්ෂයේ හර්ෂ ද සිල්වා, එරාන් යන මන්ත්‍රීවරුන් මේ පිළිබඳ හොඳ දැනුවත් කිරීමක් කරලයි තිබෙන්නේ. ඒ නිසා අපි දින ගණනාවක් උනත් කතා කරන්න සූදානම්. මේක ඒකාධිපති රටක් නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදී රටක්. අපි පිළිතරු ලබාදෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව බලා තමයි. අපි මෙම ගිවිසුම ඉල්ලුවේ රටේ ජනතාවට වාසි දායකම දේ දෙනවද කියන තැන ඉන්නයි. හැම දෙයක්ම විනිවිදභාවයෙන් සිදු වෙනවා දකින්නයි. මූල්‍ය අරමුදලට යනවට විරුද්ධ වුණේ පොහොට්ටුවේ කල්ලියයි. ඒ අයයි රට වැටුණු තත්ත්වයට වග කියන්න ඕන. හර්ෂ ද සිල්වා මුදල් කමිටුවට නොගැළපෙනව නම් කවුද ඒකට සුදුසු කියලා කියන්න කියලා මම ජනාධිපතිවරයගෙන් ඉල්ලා සිටිනවා. මේ යෝජනාවලියට අපේ අදහස් එකතු කරගත්ත නම් එය කොයි තරම් වැදගත් වෙනවද මේ එකඟතාවන් ඇති කරගන්න.
හොරු අල්ලන ඇමැතිකම අනුරට දෙන්න
පොජපෙ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි
චතුර ලෙස ඉංග්‍රීසි කතා කළ හැකි යැයි කියන සජිත් ප්‍රේමදාස මහතාට විදේශ කටයතු ඇමැති ධූරයත්, හොරු අල්ලන්න කතා කරන අනුර කුමාර දිසානායක මහතාට හොරු අල්ලන ඇමැති ධූරයත් ලබා දෙන්න යැයි තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව බදුල්ල දිස්ත්‍රික් පොජපෙ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) පැවැසීය.
හොරු අල්ලන්න බලතල මදිනම් ඊට අදාළ අණ පනත් පාර්ලිමේන්තුවට ගෙනෙන ලෙසත් ඊට කවුරුන් හෝ සහාය නොදෙන්නේ නම් ඔවුන් හොරු බවත් හෙතෙම කීවේය.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුමේ කොන්දේසි ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැවැති විවාදයේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
සමහර වෙලාවට මේ පාර්ලිමේන්තුවේ එහාට මෙහාට යද්දි ඇමැතිවරු හමු වෙනවා. සමහර ඇමැතිවරු දැක පුරුද්ද නිසා දන්නවා ඇමැතිවරු කියලා. ඒ ඇමැතිවරුන්ගේ විෂය දන්නේ නැහැ. සමහර රාජ්‍ය ඇමැතිවරු මුහුණට මුහුණ හම්බ වෙනවා දැක පුරුද්ද නිසා රාජ්‍ය ඇමැතිවරයෙක් කියලා දන්නවා. එහෙත් විෂය දන්නේ නැහැ. ඒ විෂය විශේෂීකරණය වුණු ඇමැතිවරු ඉන්නවද කියලා අපිට ගැටලුවක් තිබෙනවා. ලලිත් ඇතුළත් මුදලි ගත්තම මහපොළත් එක්ක විශේෂීකරණය වුණා. ගාමිණී දිසානායක මහතා කඩිනම් මහවැලි වැඩපිළිවෙළ සමඟ විශේෂී වුණා. ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනසවිය, උදාගම් ව්‍යාපෘතිය තුළින් ජනප්‍රිය වුණා. රෝනිද මැල්, මහින්ද රාජපක්ෂ මහත්වරු ජනප්‍රිය වුණා. එවැනි තත්ත්වයක් මේ ආණ්ඩුවල ඉන්න මන්ත්‍රීවරුන්ට ලබා දිය යුතුයි. සෑම මන්ත්‍රීවරයකුට ඉලක්කයක් ලබාදිය යුතුයි. අනුර කුමාර දිසානායක මහතා හිටපු කෘෂිකර්ම ඇමැතිවරයා. ඔහු හැම තැනම කියනවා හොරු අල්ලන්න ඕන, හොරු අල්ලන්න ඕන කියලා.
IMF කියන්නෙ විසඳුමට මාර්ගයක්
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගැනීම යනු ස්ථිර විසඳුමක් නොව විසඳුම සඳහා මාර්ගයක් පමණක් බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) ප්‍රකාශ කළේය.
එබැවින් රට තුළ පවතින අර්බුද කළමනාකරණය කිරීම උදෙසා සිදු කරන වෙනස්කම් මෙන්ම දේශපාලන ප්‍රතිසංස්කරණ ද සිදුකළ යුතු බව ද රාජ්‍ය ඇමැතිවරයා පැවැසීය.
අයි එම් එෆ් වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම උදෙසා මුදල් අමාත්‍යාංශය, විදේශ කටුයතු ආදි අමාත්‍යාංශවල නිලධාරීන් විසින්ද සුවිශේෂි කාර්යභාරයක් ඉටුකළ අතර, ඒ වෙනුවෙන් සිය ස්තූතිය පිරිනමන බව ද හෙතෙම පැවැසීය. රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා මේ බව සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් වන විවාදයේදී ඊයේ (22) සිය අදහස් දක්වමිනි.
තව දුරටත් අපි ණය අරගෙන දිගටම යනවද, එහෙම නැත්නම් වෙනත් වැඩපිළිවෙළකට යනවද කියලා අපි බැලිය යුතුයි. අපි උපයන ප්‍රමාණයට වඩා වියදම් කරලා තිබෙනවා. එහෙම වුනාම වෙන්නේ අනාගත පරපුරත් ණයකරුවන් බවට පත්වීමයි. අයි එම් එෆ් ණය වැඩපිළිවෙළ සාමාන්‍යයෙන් දින 60ක් වැනි කාලයක් තුළ අනුමත වෙනවා. නමුත් අපගේ ක්‍රියාවලියේදී කාර්ය සාධන මට්ටමේ ලියවිල්ල ගන්නත් දින 180ක් විතර ගත වුණා. මුදල් අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය වැනි ආයතනවල නිලධාරිනුත් මේ වෙනුවෙන් ජනාධිපතිවරයා සමඟ එක්වී සුවිශේෂි කාර්ය භාරයක් ඉටුකළා. ඒ වෙනුවෙන් අපි ස්තූතිවන්ත වෙනවා.
ජනවාර්ගික අර්බුදය විසඳීම IMF යෝජනාවලට දැමිය යුතුයි
දෙජාස මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන්
ජනවාර්ගික අර්බුදය විසඳිය යුතුය යන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසීවලට ඇතුළත් කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) පැවැසීය.
එවැනි කොන්දේසියක් ඇතුළත් කරන්නැයි තමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටින බව හෙතෙම කීවේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුමේ කොන්දේසි ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැවැති විවාදයෙදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
එසේ නොමැතිව ජනවාර්ගික අර්බුදය විසඳිය නොහැකි බව ඒ මහතා කියා සිටියේය.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද කීවේය.
මේ අරමුදලෙන් දෛනිකව ජන ජීවිතය ගෙවන ජනතාවගේ ජීවිතය උසස් කරන්න පුළුවන් වේවායි මම ප්‍රාර්ථනා කරනවා. කුලී වැඩ කරලා ජීවත් වන අය නඟා සිටුවන්න කටයුතු කළ යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කරුණු ගණනාවක් කොන්දේසි ලෙස ඉදිරිපත් කරලා තිබෙනවා. ජනවාර්ගික අර්බුදය විසඳිය යුතු බවට මෙම කොන්දේසිවලට ඇතුළත් විය යුතුයි. එය ඉදිරිපත් කරන්න කියලා මා යෝජනා කරනවා. එහෙම නැතුව එය විසඳිය නොහැකියි. දූෂණය නතර කළ යුතුයි කියලා මෙම කොන්දේසිවල තිබෙනවා. එහෙම නම් මුලින්ම දූෂිතයන් සොයා විමර්ශනය කර දඬුවම් ලබා දිය යුතුයි. මින් ඉදිරියට ණය ගැනීම නතර කරන්න නම් දූෂණය නතර කළ යුතුයි. මධ්‍ය රජය තුළ විතරක් නෙවෙයි සෑම දිස්ත්‍රික්කයකම සහ නිලධාරීන්ම මේ දූෂණයන්ට සම්බන්ධ වෙලා තිබෙනවා. මේ රට බංකොලොත් කළ අයට විරුද්ධව නඩු පවරා දඬුවම් ලබාදිය යුතුයි.
නව අදහස දක්වන්න